පොදුරද මඩුලු සමුළුවට ‘ඉන්දීය සහභාගිත්වය එපා’

  • 24 ඔක්තෝබර් 2013

නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මුළුමනින් ම වර්ජනය කරන මෙන් ඉල්ලා සිටින යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව සම්මත කොට ගෙන තිබේ.

යෝජනාව සභා ගත කරමින් මහ ඇමතිනි ජයලලිතා ජයරාම් කියා සිටියේ නාමික වශයෙන් හෝ කිසිදු ඉන්දීය නියෝජිතයකු සමුළුවට සහභාගී නො කළ යුතු බවයි.

ශ්‍රී ලංකා රජය පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම උල්ලංඝනය කිරීම පදනම් කොට ගෙන සමුළුව වර්ජනය කිරීමට තීන්දු කොට ඇති කැනඩා අගමැති ස්ටීවන් හාපර් ගෙන ඇති ස්ථාවරය ඉන්දීය රජයත් ආදර්ශයට ගත යුතු බවයි මහ ඇමතිනිය වැඩි දුරටත් කියා සිටියේ.

අට කෝටියක්

සාපේක්ෂ වශයෙන් කුඩා දෙමළ ජනගහනයක් සිටින කැනඩාව නාමික නියෝජනයක් පමණක් සිදු කිරීමට තීරණය කරද්දී අට කෝටියක් දෙමළ ජනතාව සිටින ඉන්දියාව සමුළුව මුළුමනින් ම වර්ජනය කිරීමට ස්ථිර සාර තීන්දුවක් නොගැනීම කනගාටුවට කාරණයක් වන අතර ඉන් පෙනී යන්නේ මධ්‍යම ආණ්ඩුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ට ගරු නොකරන බවකැයි ජයලලිතා ජයරාම් පැවසුවාය.

සමුළුව වර්ජනය කරන මෙන් හිටපු තමිල්නාඩු මහ ඇමැති මුතුවේල් කරුණානිධි කළ ඉල්ලීමකට ලිපියකින් පිළිතුරු සපයන ඉන්දීය අගමැති මං මෝහන් සිං කියා තිබුණේ තම සහභාගිත්වය තීරණය කැරෙනු ඇත්තේ දෙමළ ජනතාවගේ අදහස් ඇතුළු අදාල සියලු කාරනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බවයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රද මඩුලු සමුළුව වර්ජනය කිරීමේ ඉල්ලීම තමිල්නාඩුවේ ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් සමහරෙක් විසින් ද ඉදිරිපත් කොට තිබේ.