අය වැයෙන් අඩක්ම රාජපක්ෂ පවුලට - එජාප

Tissa Attanayake (L) with UNP leader
Image caption 'රාජපක්ෂ පවුලට අයත් අමාත්‍යංශ වලට අය වැයෙන් 47% ක්ම වෙන් කරලා'

ලබන වසරේ ආණ්ඩුවේ වියදමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයා සහ ඔහුගේ සොහොයුරන් වෙනුවෙන් වෙන් කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ආණ්ඩුව විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය වැය විසර්ජන පණත් කෙටුම්පතට අනූව, ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලට අයත් අමාත්‍යංශ වලට අය වැයෙන් සියයට හතලිස් හතක්ම වෙන් කොට ඇති බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කොළඹ පැවති මාධය හමුවක දී සඳහන් කළේ.

මේ මගින් අගමැතිවරයා ඇතුළු අනෙක් සියලු අමාත්‍යවරුන්ට 'කුඩම්මාගේ සැලකිලි' දක්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

'කුඩම්මාගේ සැලකිලි'

තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාගේ වියදම පමණක් පසුගිය වසරේ රුපියල් කෝටි හත්සිය හතලිස් දෙකක් වූ බව පවසන ඔහු, මේ වසරේ එම වියදම රුපියල් කෝටි අටසිය පනස් හයක් දක්වා ඉහල ගොස් ඇති බව පවසයි.

එසේ නමුත් අගමැතිවරයාගේ වියදම මෙවර රුපියල් කෝටි දෙකකින් කප්පාදු කර ඇති බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ .

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 10,600ක්ද, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධූරය හොබවන ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 25,390ක් ද වෙන්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් අමාත්‍යංශ දාහතරක් සඳහාම වෙන් කොට තිබෙන මුදල රුපියල් කෝටි හයසිය විසි හතරක් බවයි, එජාපය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර