‘තවිෂ’ ඝාතනයේ අපරාධකරුවන් අල්ලා ගැනීමේ පොලිස් මෙහෙයුමක්

ඉරිදා රාත්‍රියේ ෂෙෆීල්ඩ් නගරයේදී මරා දැමුණ තවිෂ ලකිඳු පීරිස් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් ඇතැයි දකුණු යෝක්ෂයර් පොලිසිය ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයකු වූ තවිෂ ලකිඳු පීරිස් මරා දමා තිබුණේ ෂෙෆීල්ඩ් නගරයේදී.

‘ෂෙෆීල්ඩ් හලම්’(Hallam) සරසවියේ සිය උපාධිය නිමකළ විසිපස් හැවිරිදි තවිෂ ලකිඳු පීරිස්, පීසා(Pizza) සමාගමක රැකියාවක නිරතව සිටි අතර,ඔහු තොරතුරු තාක්‍ෂණික අංශයේ රැකියාවක් භාර ගැනීමට නියමිතව සිටි බවත් දකුණු යෝක්ෂයර් පොලිසිය පවසයි.

ඇනවුමක් අනුව පීසා සැපයීමට ගිය තවිෂ ලකිඳු පීරිස් ඔහුගේ මෝටර් රථය තුල පිහියෙන් ඇන මරා දමනු ලැබ තිබිණ.

දකුණු යෝක්ෂයර්හි නියෝජ්‍ය පොලිස් අධිකාරී ලීසා රේ (Lisa Ray)ප්‍රකාශයක් කරමින් අපරාධකරුවන් අල්ලා ගැනීමට පනහක පමණ පොලිස් භටයන් යොදවා ඇති බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් විමසීමක්

මෙම ඝාතනය සම්බන්ධයෙන් වාර්තාවක් සපයන මෙන් ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම පවසයි.

දකුණු යෝක්ෂයර් පොලිස් වාර්තා මගින් පැවසෙන්නේ තවිෂ ලකිඳු පීරිස් ඝාතනය සම්බන්ධයෙන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව චෝදනා රහිතව ඔවුන් මුදා හරිනු ලැබ ඇති බවයි.