නැව් සංස්ථාව ‘මිලිටරිකරණ වෑයමක්’

ශ්‍රී ලංකාවේ ඉහළ පෙලේ රාජ්‍ය ආයතනයක මුල් පුටුවට ප්‍රථම වතාවට සන්නද්ධ සේනා ප්‍රධානියකු පත් කිරීම දූෂණ විරෝධී සංවිධානයක දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

නැව් සංස්ථාවේ සභාපති ධුරය නාවුක හමුදා පති වරයාට භාර දීම විනිවිද ජාත්‍යන්තරය හෙවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබුයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හමුදා මැදිහත්වීම තව දුරටත් හුවා දක්වන්නක් ලෙසින්.

‘වෙනත් අමාත්‍යංශ යටතේ පවත්නා සිවිල් ආයතන කරා ආරක්ෂක අමාත්‍යංශයේ බල අධිකාරිය පතුරුවා ලීමේ උවමනාව,’ වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ නාවුක හමුදාපති ධුරයට අතිරේකව නැව් සංස්ථාවේ ප්‍රධානියා ලෙස අඟහරුවාදා පත් කිරීම මගින් පැහැදිලි වන බවයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ක්‍රිශාන්ත වැලිඅමුණ ප්‍රකාශ කරන්නේ.

‘ආසියාවේ ඓශ්චර්යය’

පත්වීම ප්‍රකාශයට පත් කරමින් නාවුක හමුදාව කියා සිටියේ ශ්‍රී ලංකාව ‘ආසියාවේ ඓශ්චර්යය’ බවට පත් කිරීම සඳහා නාවුක හමුදාපතිවරයාගේ ‘දැනුම් සම්භාරය හා වෘත්තීය විශේෂඥතාව’ නව ධුරයේ කටයුතු කිරීමේදී මහත් රුකුලක් වන බවයි.

සන්නද්ධ නොවන රාජ්‍ය සේවාවක ඉහළ ධුරයක් සඳහා වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ පත් කිරීම අත්‍යවශ්‍ය නම්, ඔහු නාවුක හමුදාවෙන් ඉල්ලා අස්විය යුතු බවයි නීතිඥ වැලිඅමුණ ප්‍රකාශ කරන්නේ.