ලංකාවේ මාධ්‍ය නිදහස ගැන 'සමුළුව වේදිකාවක් කර ගන්න'

FMM
Image caption 'මාධ්‍යවේදීන්ට තර්ජන කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු නොකිරීමේ වාතාවරණයක්'

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන පිළිබඳව අවධානයට ලක් කිරීම පිණිස එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වේදිකාවක් කර ගන්නැයි එෆ්එම්එම් හෙවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම යුද ගැටුම් පැවති සමයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වූ තර්ජන පිළිබඳව දිගින් දිගටම වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ට එරෙහිවද බරපතල මර්ධනයක් ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙන එෆ්එම්එම් සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ අඩංගු ප්‍රධානම මූලධර්මයක් වන භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරන මෙන් කොළඹට රැස් වන ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

'සදාචාරාත්මක වගකීමක්'

2005 - 2009 කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාධරයන් තිස් හතර දෙනකුවත් මරා දමා තිබෙන බව පෙන්වා දෙන එෆ්එම්එම් නිවේදනය, තවත් විශාල පිරිසක් පහර ගැනීමට, බිය වැද්දීම් සහ තර්ජනය කිරීම්වලට ලක් වූ බවද සඳහන් කරයි.

කෙසේ නමුත් එවැනි එක් ඝාතනයක් හෝ වෙනත් සිදුවීමක් සම්බන්ධයෙන් හෝ මේ දක්වා කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව ලෝක නායකයන් වෙත නිකුත් කරන විවෘත ලිපියේ සඳහන් කරන මාධ්‍ය නිදහස පිලිබඳ සංවිධානය, ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට තර්ජන කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු නොකිරීමේ වාතාවරණයක් ශ්‍රී ලංකාවේ පවතින බවද පවසයි.

මේ තත්වය යටතේ පසුගියදා පැවති උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කළ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බල කිරීමේ 'සදාචාරාත්මක වගකීමක්' පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයන්ට තිබෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර