රාජ්‍ය නායක සමුළුවට එරෙහිව විකල්ප සමුළුවක්

  • 2013 නොවැම්බර් 4
Image caption 'රටට කීර්තියක් ලැබෙනවා මොකද රට තුල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවක් ඉන්න එකට'

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එරෙහිව විකල්ප සමුළුවක් මෙම මස 13 සහ 14 වැනි දිනවල කොළඹදී පවත්වන බව නව සමසමාජ පක්ෂය පවසයි.

බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඒ බව කියා සිටි පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රදර්ශනයක් හා විරෝධතා ව්‍යාපාරයක්ද විකල්ප සමුළුවට ඇතුලත් බවත් කියා සිටියේය.

මේ වන විට සමගි බලවේගය නමින් සංවිධානය වී සිටින විපක්ෂයේ පක්ෂ එකතුවත්, වෘත්තීය සමිති එකතුවත්, සිවිල් සමාජ සංවිධානත් විකල්ප සමුළුවට සහභාගි වන බවද ඔහු සඳහන් කළේය.

සත්‍ය හෙළිදරව් කිරීමේ තේමාව යටතේ පවත්වන මෙම විකල්ප සමුළුවේදී නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, අතුරුදහන්වීම්, දේශපාලන සිරකරුවන්, අධ්‍යාපනය සහ පරිසර දූෂණය වැනි ක්ෂේත්‍ර ගණනාවකම කතිකාවන් පවත්වන බවද විකල්ප සමුළුවේ කැඳවුම්කරු වන ආචාර්ය කරුණාරත්න පැවසීය.

'රටට කීර්තියක්'

පක්ෂ අභ්‍යන්තරයේ කුමන මතභේද තිබුණත්, රටේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයද විකල්ප සමුළුවට සහභාගි වන බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය නායකයන් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන මොහතක මෙවන් විකල්ප සමුළුවක් හා විරෝධතාවක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට ලක් නොවන්නේදැයි සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, අපකීර්තියට පත් වන්නේ රට නොව ආණ්ඩුව බවයි.

"අපකීර්තියක් ලැබෙනවා ආණ්ඩුවට. රටට කීර්තියක් ලැබෙනවා මොකද රට තුල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, දෙමළ ජනතාවගේ අයිතීන් සුරකින, ජාතිවාදයට විරුද්ධ ජනතාවක් ඉන්න එකට," යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවෙත්වෙන සමය තුල විපක්ෂය සංවිධානය කිරීමට සැරසෙන විරෝධතාවය සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා එය විග්‍රහ කළේ වගකීම් විරහිත ක්‍රියාදාමයක ලෙසින්.

"ජාත්‍යන්තර සමුළුවක් එක දේශපාලන පක්ෂයකට සිමා වෙච්ච් දෙයක් නෙමෙයි. ඒක රටක් එක්ක වෙන ගනුදෙනුවක්, එතැනදී ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය පිළිබඳව රටේ ජනතාව නිවැරදි තීරණයක් ගනීවි," බවයි ඇමතිවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර