ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉතාලි යවන්න මුදල් ගත් මන්ත්‍රී 'දැන් තර්ජනය කරනවා'

2013 නොවැම්බර් 5 අවසාන වරට යාවත්කාලීන කළේ 15:27 GMT

විදේශ රැකියා සඳහා ඉතාලියට යවන බවට ප්‍රතිඥා දී තමන්ගෙන් මුදල් ලබා ගත් ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් රැකියා ලබා දීමට හෝ සිය මුදල් යලි ලබා දීමට අපොහොසත් වී ඇති බව වෙන්නප්පුවේ තරුණ පිරිසක් පවසති.

Image caption බොහෝ තරුණ පිරිස් කෙසේ හෝ රටින් පිටවීමට උත්සාහ දරන්නේ විරැකියාව හේතුවෙන්

රුපියල් ලක්ෂ හත හමාරක් ගෙවන්නේ නම් ඉතාලියේ රැකියා සොයා දිය හැකි බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් කොළඹගේ ප්‍රතිඥා දුන් බව වෙන්නප්පුව, ලුනුවිල පදිංචි දක්ෂිණ චාමර සඳ කැලුම් බීබීසී සංදේශයට පැවසීය.

මෙය ආණ්ඩුවේ ක්‍රියාදාමයක් ලෙස විශ්වාස කළ තමා ඉන් අනතුරුව ඔහුට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක ලබා දුන් බවයි, ඔහු පවසන්නේ.

නිල් බලකාය

තාරුණ්‍යයට හෙටක් නිල් බලකායේ වෙන්නප්පුව සංවිධායක පදවිය දරන බව දැක්වෙන නිල මුද්‍රා සහිත ලේඛන රුක්මන් කොළඹගේ මන්ත්‍රීවරයා තමන්ට පෙන් වූ බව පවසන තරුණයෝ, රැකියා නොලැබුන කළ යලි මුදල් දෙන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු තමන්ට තර්ජනය කරන බවද පවසති.

"තාත්තගේ ඉඩම උගස් තියල තමයි ලක්ෂ දෙක හමාර ගත්තේ. ලක්ෂ දෙකහමාරට මාසෙකට පොලිය 20,000 ක්. දැනටම ලක්ෂයක් විතර පොලිය ගෙවල," දක්ෂිණ චාමර පැවසීය.

තරුණයන්ට රැකියා ලබා දීම සඳහා කොටා හයක් තමන්ට ලැබුණු බව මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න කළ විමසීමකදී කියා සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් කොළඹගේ, එයින් හතරක් අදාළ තරුණයන්ට ලබා දුන් බව පැවසීය.

මේ පිළිබඳව පැමිණිලි ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ පවත්වන මෙන් වෙන්නප්පුව පොලිසිය දැනුවත් කළ බව හලාවත පොලිස් අධිකාරී සාලිය සිල්වා සංදේශයට කියා සිටියේය.