අතුරුදහන් වුවන් ගැන පැමිණිලි කරන්නන්ටත් තර්ජන

mannar
Image caption අතුරුදහන් වුවන්ගේ ඥාතීන් කොමිසම හමුවේ

අතුරුදහන් වුවන් පිලිබඳ පැමිණිලි කිරීමේදී මෙන්ම ඔවුන් වෙනුවෙන් හඬ නගනා උද්ඝෝෂණ වලට සභාගීවීමෙන් පසු තමන්ට රහස් පොලිසියේ සහ ආරක්ෂක අංශ වල ප්‍රශ්න කිරීම් සහ තර්ජනය කිරීම් වලට මුහුණ දීමට සිදුවන බව අතුරුදහන් වුවන්ගේ ඥාතීන් පවසති.

අතුරුදහන් වීම දෙදහස් තුන්සිය එකක් පිළිබඳව පැමිණිලි අද, මන්නාරම පුරවැසි කමිටුව විසින් උතුරු - නැගෙනහිර අතුරුදහන් වුවන් පිලිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම ට භාර දුන් අවස්ථාවේදීය ඔවුන් මෙසේ ප්‍රකාශ කළේ.

තම විසි අට හැවිරිදි පුතු සොයන මන්නාරමේ පදිංචි එම් උදය චන්ද්‍රා කොමිසම හමුවේ ප්‍රකාශකළේ සීදුවේ පැවති අතුරුදහන් වුවන්ගේ ජාතික සැමරුමට සහභාගී වීමෙන් අනතුරුව ද ඇය රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම් වලට ලක්වූ බවයි.

අද ඇය ඉදිරිපත් කළේ තම පුතු සොයාදෙන ලෙස බලධාරීන් වෙත යොමුකරන 50 වැනි පැමිණිල්ලයි.

ලිංගික බලපෑම්

Image caption පැහැදිළි පිළිතුරක් අපේක්ෂාවෙන්....

මෙහිදී අතුරුදහන්වුවන් පිලිබඳව සොයාබැලීම සදහාවූ කමිටුවේ එස් මහේන්ද්‍රන් කොමිසමේ අවදානයට යොමුකළේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ට ආරක්ෂක අංශ විසින් ලිංගික බලපෑමද එල්ලවී ඇති බවයි.

රහස් පොලිසිය නිවෙස් වලට ගොස් පරීක්ෂණ පවත්වන බවත් රාත්‍රී කාලයේදී දුරකතනය ඔස්සේ ලිංගික අපොයෝජන්ට පොළඹවා ගැනීමට උත්සහ ගන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

අතුරුදහන්වුවන් රහස් කදවුරුවල සිරකර ගෙන සිටින බවට දෙමාපියන් එල්ලකළ චෝදනාවට පිළිතුරු ලෙස කොමිසම පැවසුවේ රහස් කදවුරු ඇති බවට තමන්ට තොරතුරු ලැබී නැති බවත් එසේ තිබෙනවානම් ඒ පිළිබඳව පිළිගතහැකි සාක්ෂි ලබාදෙන ලෙසටයි.

තමන්ගේ දරුවන් සිටිනවාද නැද්ද යන්න පිලිබඳව පැහැදිළි ප්‍රකාශයක් ඉක්මනින් ලබාදෙන ලෙසයි බොහෝදෙනා කොමිසමෙන් ඉල්ලා සිටියේ

කොමිසම් ගැන විශ්වාසයක් නෑ

කොමිසමට කරුණු දැක්වූ අතුරුදහන් වුවන්ගේ ඥාතීන් සමග පැමිණ සිටි සත්‍යවේල් පියතුමා සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් මෙවැනි කොමිසම් පිළිබඳව විශ්වාසයක් නැති බවයි.

සංදේශය සමග අදහස් දැක්වූ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම, ආරක්ෂක අංශ වල ක්‍රියාවන් ගැන දැනුවත් කිරීම ඉතා වැදගත් වන අතර තත්වය මැඩපවත්වා සාමකාමී පරිසරයක් ඇතිකිරීමට කටයුතු කරණ බවටත් ප්‍රකාශ කළේය.

කොමිසම තුළ හමුදාවට සම්බන්ද නැති ස්වාධීන පරික්ෂකයන් යොදා ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ