ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත් හිටුවයි

දේශපාලන රැකවරණ පතා එන ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීම අත් හිටුවන නියෝගයක් බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් ලබා දී තිබේ.

දේශපාලන රැකවල් පතා එන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මේ වසර මැද දී ඉහළ අධිකරණය විසින් දෙනු ලැබු තීන්දුවකට එරෙහිව කරන ලද අභියාචනයක් සම්බන්ධයෙන් මේ නියෝගය දී ඇත්තේ බ්‍රහස්පතින්දා.

ලබන වසර මුලදී පූර්ණ නඩු විභාගයක් පවත්වා ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ ලබා දෙන තුරු අභියාචනාධිකරණ තීන්දුවෙන් සහනයක් සැලසෙන බවයි නීතිවේදී අරුන් ගනනාදන් ප්‍රකාශ කළේ.

එමෙන්ම දේශපාලන රැකවරණ පතන ශ්‍රී ලාංකිකයකුගේ අයැදුම් පත්‍රයක් හෝ අභියාචනයක් හෝ ජූලි මාසයේ අධිකරණ නිර්දේශ අනුව ප්‍රතික්ෂේප වී තිබේ නම් ඔවුන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ ඉඩ සැලසෙන බවයි ඔහු පවසන්නේ.

වධ බන්ධන

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHRC) විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව 2012 දී පළ කරන ලද නිර්දේශ ඉහළ උසාවියේ ප්‍රමාණවත් සැලකිල්ලට යොමුවී නැති වග බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයේ අවධානයට යොමු කැරුණු බව ද ගනනාදන් නීතිවේදියා තවදුරටත් පැවසීය.

දේශපාලන රැකවරණ සඳහා වන ඉල්ලීම අසාර්ථක වී ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලබන දෙමළ ජනතාව අතුරින් ඇතැමකු වධ බන්ධනයට ලක්වන බවට මානව හිමිකම් සංවිධාන ගෙන එන චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.