ජාත්‍යන්තර නීති වේදීන් ට ශ්‍රී ලංකාවේ දොර වැසේ

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගෙන් ද සමන්විත වූ ඉහළ පෙළේ නීතිවේදීන් සමුහයකට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට බාධා පමුණුවා ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් පවසයි.

Image caption හෙලේනා කෙනඩි සාමි වරිය

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ට පෙරාතුව පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ලබා දී තිබූ වීසා බලපත් ශ්‍රී ලංකාවේ රජය විසින් නිල වශයෙන් අහෝසි කොට ඇති බවයි ලන්ඩනය මූලස්ථාන කොට ගත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසා ඇත්තේ.

‘කලකිරවන සුළුයි'

ශ්‍රී ලංකාවේ රජය දෙවැනි වතාවටත් IBAHRI නියෝජිතයන් රටට ඇතුළු වීම වලක්වා ලීම පිලිබඳ කනගාටුව පළ කරන සම සභාපතිනි හෙලේනා කෙනඩි සාමි වරිය, පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගත සභාපතිත්වය දැරීමට නියමිත රාජ්‍යය මෙවැනි පියවරක් ගැනීම ‘කලකිරවන සුළු’ බව කියා සිටී.

තවත් සම සභාපති වරයකු වන ස්ටර්න්ෆර්ඩ් මෝයෝ මෙම අවහිර කිරීම හැඳින්වුයේ රට තුළ ‘භාෂණයේ නිදහස හා නිදහස් සංවාදය වළක්වා ලීමට ශ්‍රී ලංකාවේ රජය සතු අධිෂ්ඨානය ලෝකයට විදහා දැක්වීමක්’ ලෙසින්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා එක් ව නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට සංවිධානය කොට තිබුණ නීතියේ ආධිපත්‍යය හා නීති වෘත්තියේ ස්වාධීනත්වය පිලිබඳ සමුළුවට සහභාගී වීම සඳහා නීතිඥයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙසිය දෙනකු ලියා පදිංචි වී සිටි බවයි IBAHRI නිවේදනයේ දැක්වෙන්නේ.

තහංචි සමයක්

විනිශ්චය කරුවන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ද සමුලුවට සහභාගී වීමෙන් වළක්වා ඇති බව සංවිධානය පවසයි.

රටට ඇතුළු වීමේ අවසරය අත් හිටුවීම සම්බන්ධයෙන් නොවැම්බර් හය වැනිදා ලිපියක් ලියන බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් නෙවිල් සිල්වා පවසා ඇත්තේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන හෙයින් ඔක්තෝබර් විසි වැනිදා සිට වැනිදා දක්වා ‘තහංචි සමයක්’ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇති බවයි.

එවන් ලිපියක් යවන ලද බව බීබීසී සංදේශයට තහවුරු කළ මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් කියා සිටියේ, සමුළු සමය තුළ දී වෙනත් කටයුතු සඳහා පිට රටින් පැමිණෙන අමුත්තන්ගේ කාර්ය සම්පාදනයට විදේශ අමාත්‍යංශයට හැකියාවක් නැති බවයි.