මුරුසියේ අගමැතිත් සමුළු වර්ජනයට එක් වෙයි

Mauritius PM Ramgoolam
Image caption අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් සමුළුවට සහභාගි නොවන්නට තීරණය කළ තුන්වැනි රාජ්‍ය නායකයායි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ ව සැලකිලිමත් වෙමින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට මුරිසි දිවයිනේ අගමැති වරයා තීරණය කොට තිබේ.

ඒ අනුව මුරුසියේ අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් සමුළුවට සහභාගි නොවන්නට තීරණය කළ තුන්වැනි රාජ්‍ය නායකයායි.

ඔහු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට යන විදේශ අමාත්‍ය අර්වින් බුලෙල් (Arvin Bullel) බීබීසී දෙමළ සේවයේ ප්‍රධානී තිරුමලෙයි මනිවන්නන් හා කියා සිටියේ අගමැති වරයාගේ තීන්දුව ප්‍රතිපත්තිමය එකක් බවයි.

"අපි සියල්ලෝම ගරු කරන මූලධර්ම මත පදනම් වෙලා, පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තිය අනුව රැකිය යුතු මානව හිමිකම් පිලිබඳව සැලකිල්ලට ගනිමින් අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මුරිසි රාජ්‍යයේ.

සමුළුවට සහභාගි නොවන බව කැනඩාව සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයන් දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන මාස කීපය තුලදී පුළුල් ලෙස මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකාවේ රජයට චෝදනා නැගී තිබෙන අතර ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර