යාපනයේ අක්කර 6300 ක් 'ආණ්ඩුව අල්ලා ගෙන'

  • 2013 නොවැම්බර් 13
Jaffna land
Image caption 'ඉඩම් අත් පත් කරන එක නතර කරලා, මේ ගෙවල් හදන එක නතර කරන්න කියල තමයි උපවාසය ආරම්භ කළේ'

ඉඩම් අක්කර දහස් ගණනින් පවරා ගන්නා ආරක්ෂක හමුදා දැන් එහි නිවාස ඉදි කරමින් සිටින බව පවසන යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් අහිමි වූවන්ගේ සංගමය, පස් දින උපවාසයක් ආරම්භ කළේය.

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් අහිමි වූවන්ගේ සංගමය එම උපවාසය ආරම්භ කළේ තෙලිප්පලෙයි මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකින් අනතුරුවයි.

6300 කට වැඩි ඉඩම් අක්කර ප්‍රමාණයක් පවරා ගත් හමුදාව දැන් එහි නිවාස ඉදි කරමින් සිටීම උපවාසය ආරම්භ කිරීමට හේතුව බවයි, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ.

"ඉඩම් අත් පත් කරන එක වහාම නතර කරලා, මේ ගෙවල් හදන එක නතර කරන්න කියල තමයි මේ සතියක උපවාසය ආරම්භ කළේ," ඔහු පැවසීය.

හමුදාවේ මේ ක්‍රියාමාර්ගය හේතුවෙන් යාපනයේ ග්‍රාම සේවා වසම් විසි හතරක පහළොස් දහසකට අධික ජනකායක් නිවාස අහිමිව සිටින බවයි, එක් උද්ඝෝෂකයෙක් සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් පලාලි සහ කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාප වෙනුවෙන් උතුරේ ඉඩම් පවරා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවයි, රජයේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

මේ අතර උපවාසය සංවිධානය කිරීමට මූලික වූ වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මලිංගම් සුහීර්දන්ට මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ.

වලිකාමම් උතුර ඇතුළු පළාත් ගණනාවක ඉඩම් පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් උතුරේ දහසකට අධික ජනතාවක් පවරා ඇති පෙත්සම් මේ වන විට අධිකරණය හමුවේ විභාග කැරෙමින් පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර