ඩේවිඩ් කැමරන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද අපරාධ චෝදනා විභාග කරන්න - අගමැති කැමරන්

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා ආණ්ඩුව අභ්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් ලබන වසරේ මාර්තු මාසය වනවිට ආරම්භ නො කළොත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් බ්‍රිතාන්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා එම අදහස පළ කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටින අතරවාරයේ.

තවදුරටත් කරුණු දැක් වූ අගමැති ඩේවිඩ් කැමරන් පෙන්වා දුන්නේ ,දෙමළ කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් සංහිඳියා වැඩ පිළිවෙල කඩිනම් කළ යුතු ව ඇති බවයි.

එවැනි කාරනා සම්බන්ධයෙන් ප්‍රගතියක් දැකීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍ය කරන බවක් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවැත් වූ ඍජු සාකච්ඡාවල දී තමාට දැනුණ බවයි, බ්‍රිතාන්‍ය අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විභාගයක් පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා කරන යෝජනාව ආර්ථික සංවර්ධන කටයුතු භාර ඇමති බැසිල් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයකු මෙන් ම,ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයකු ද වන බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර නො දීම නියත කරුණක් වන බවයි.

මේඅතර , පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ නිල මාධ්‍ය හමුවට සහභාගී වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ව දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිදු විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුත්තේ කුමක් නිසාදැයි එහිදී ප්‍රශ්න කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ,මනා පරිචයෙන් යුක්ත පුද්ගලයන්ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් එම කාර්යය සඳහා තමා විසින් පත් කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, වීදුරු ගෙවල් තුළ සිටින්නන් අන් අයට ගල් නො ගැසිය යුතු බවයි.

එම ප්‍රකාශය බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉලක්ක කර ගත් එකක් දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටියේ තමා කිසිවකු ඉලක්ක කර ගනිමින් එම ප්‍රකාශය නො කළ බවයි.