ඩේවිඩ් කැමරන් ගේ ශ්‍රී ලංකා ගමන වැදගත්- නිර්මලා රාජසිංහම්

nirmala-rajasinham

අගමැති ඩේවිඩ් කැමරන් ගේ ශ්‍රී ලංකා ගමන ගැන බීබීසියට අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන සමාජ ක්‍රියාධාරිනියක වන නිර්මලා රාජසිංහම් කියා සිටියේ,ජාත්‍යන්තර ප්‍රජාව දෙමළ ජනතාවට යුද්ධයෙන් විනාශ වූ තම ජීවිතය යළි ගොඩ නගා ගැනීමට ආධාර උපකාර කල යුතු බවයි.

පොදු රාජ්‍යය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ගිය බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ යාපනය සංචාරය පිළිබඳව විමසූ විට ඇය කියා සිටියේ, මේ ගමන හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වූ බවයි.

“ශ්‍රී ලංකාව ගැන හැම තැනම තියෙනවා.ශ්‍රී ලංකාවේ මොනවද වෙන්නේ කියලා හැමෝම දන්නවා. මානව හිමිකම් කඩවීම් සහ අධිකාරිවාදය සහ මාධ්‍ය නිදහස සීමා වීම වගේ දේවල් පිළිබඳ ව කරුණු ඉස්මතු වෙලා තිබෙනවා. මේ නිසා රටක් පිටස්තර ලෝකයට වසන් වෙමින් අධිකාරීවාදී වෙන කොට ජාත්‍යන්තර අවධානය යොමු වීම වැදගත්.” යැයි ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමල ජනතාවෙන් සෑහෙන කොටසක් පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව වර්ජනය කිරීම අනුමත නොකරන බවත් නිර්මලා රාජසිංහම් කියා සිටියාය.