අපේ අත්දැකීම බෙදා ගැනීමට සූදානම් - ජේකබ් සූමා

  • 2013 නොවැම්බර් 17
ජේකබ් සූමා
Image caption 'අපිට දෙන්න අත්දැකීමක් තියෙනව. ඒක බෙදා හදා ගන්න ඇතැම් ශ්‍රී ලාංකිකයන් සූදානම් බව අපිට වැටහුනා'

ඉතාමත් දරුණු ගැටුම්වලින් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීම් වස් තමන් අනුගමනය කළ ක්‍රියාදාමයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට 'ඕනෑම මොහොතක සූදානම්' බව දකුණු අප්‍රිකාව පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙසින් ක්‍රියා කිරීමට සූදානම් දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ.

රටේ සංහිඳියාව ඇති කිරීම් වස් තමන් කිසියම් ක්‍රමවේදයක් දියත් කළ බව පවසන ජනාධිපති ජේකබ් සූමා, ඉන් අනතුරුවත් මතු වුන අභියෝගයන්ට මුහුණ දීම පිණිස විවිධ ක්‍රමවේදයන් දියත් කළ බව සඳහන් කළේය.

"ඉතින් මේ අත් දැකීම ලෝකේ ඕනෑම තැනක වෙසෙන සහෝදර සහෝදරියන් සමඟ අපිට බෙදා හදා ගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

'ක්‍රමවේදයක් තියෙනවා'

Image caption චෝදනා විභාග කිරීමේ ක්‍රියාදාමයක් දැනටමත් ආරම්භ වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි

දකුණු අප්‍රිකාවේ එම සංහිඳියා ක්‍රියාදාමයට සම්බන්ධ වූ පිරිස් සහ ඇතැම් ශ්‍රී ලාංකිකයන් අතර අදහස් හුවමාරුවක් සිදුවෙමින් පවතින්නේ එසේ සිය අත් දැකීම් බෙදා ගැනීමේ අභිප්‍රායෙන් බවයි, ජනාධිපතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාදාමයක් සඳහා මැදිහත් වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නම් තමන් ඕනෑම මොහොතක එයට සූදානම් බව ඔහු අවධාරණය කළේය.

"අපිට දෙන්න අත්දැකීමක් තියෙනව. ඒක බෙදා හදා ගන්න ඇතැම් ශ්‍රී ලාංකිකයන් සූදානම් බව අපිට වැටහුනා ඉතින් අපිට ඒ ගැන බොහොම සතුටුයි," බවද ජනාධිපති සූමා පැවසීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති පදවියට පත්වීමට පෙර විපක්ෂනායක පදවිය දැරූ සමයේ පවා තමන් දකුණු අප්‍රිකානු නායකයන් සමඟ අදහස් හුවමාරු කරගත් බව කියා සිටියේය.

වෙනත් රටක මානව හිමිකම් උල්ලංඝන හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කරන විට එය ඉතා සංවේදී තත්වයක් බව කියා සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවටද එය එසේම සංවේදී කරුණක් බව සඳහන් කළේය.

ඉතාමත් පැරණි අධිකරණ පද්ධතියක් පවතින ශ්‍රී ලංකාවේ එවැනි චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම පිණිස ක්‍රමවේදයක් පවතින බව පවසන ඔහු, එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීමේ ක්‍රියාදාමයක් දැනටමත් ආරම්භ වී තිබෙන බවත්, එම ක්‍රියාදාමය අවසාන වීම පිණිස කාලයක් ගත වනු ඇති බවත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර