කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී අය වැයක් - එජාප

  • 22 නොවැම්බර් 2013
Image caption මෙය 'කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී අය වැයක්' බව මන්ත්‍රීවරයා පවසයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) දැඩි විවේචනයට ලක් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අය වැය යෝජනා විග්‍රහ කළේ "කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී" අයවැයක් ලෙසින්.

රජයේ සේවකයන්ට ලබා දුන් ජිවන වියදම් දීමනාව, නව බදු පනවමින් ජනතාවගෙන් උදුරා ගන්නා බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේ නමුත් අය වැය පරතරය අඩු කර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අගය කිරීම විශේෂත්වයක්.

'ආර්ථික වැඩපිළිවෙලක් නෑ'

Image caption 'රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අය වැයෙන් පිට'

ආණ්ඩුවට දිගු කාලීන ආර්ථික වැඩපිළිවලක් හෝ ජනතාව මුහුණ දෙන ගැටළු වලට කෙටි කාලීනව විසඳුම් සෙවීමට හැකියාවක්ද නොමැති බව අය වැයෙන් පෙන්නුම් කෙරෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණ මේ අතර පවසන්නේ.

රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අය වැයෙන් පිට බව මෙන්ම අය වැයෙන් ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක නොවන බවත් මේ වන විට ජනතාව වටහා ගෙන ඇති බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ.

එහෙත් විපක්ෂයේ එම චෝදනා බැහැර කරන වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර පවසන්නේ රුපියල් 10,000 ක පඩි වැඩි වීමක් කිසිදු රජයකට ලබාදිය නොහැකි බවයි.

මේ අතර 20%ක්ව පැවති වාහන ක්ෂය වීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් කියා සිටියේ ඒ මගින් වාසි සැලසෙන්නේ වාහන ආනයනය කරන ව්‍යාපාරිකයන් අතලොස්සකට පමණක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර