ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවලින් 'විශිෂ්ටතම සමුළුව මේකයි'

පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් පනස් දෙදෙනකු ගෙන් විසි එක් දෙනකු පමණක් පසුගියදා කොළඹදී අවසන් වුනු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම ශ්‍රී ලංකාවේ දුර්වල විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවට විපක්ෂය නගන චෝදනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

සභානායක, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

"නෑ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලතාවයක් නෙවෙයි, සමහර රාජ්‍ය නයකයන්ට පුද්ගලික හේතු මත එන්න බැරි වුනා. එහෙම නීතියක් නැහැ සෑම රාජ්‍ය නායකයකුම පැමිණිය යුතුයි කියල," යනුවෙන් ඔහු කියා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ආරම්භයට පෙර ප්‍රකාශයක් කළ රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේ, රාජ්‍ය නායකයන් තිස් හත් දෙනකු සමුළුවට සහභාගි වන බව තහවුරු කොට ඇති බවයි.

ඒ ප්‍රකාශ කවරක් වුවත් සමුළුව පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් වූ බවත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නැංවීමට හැකිවූ බවත්අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මතයයි.

"ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ තියෙන දැවැන්ත මානව සම්පත; මෙවැනි දැවැන්ත සමුළුවක් සංවිධානය කිරීමේ හැකියාව මුළු ලෝකයටම පෙන්වීමට අපට හැකිවුණා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"පැමිණි හැම දෙනාම මෙය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවලින් ඉතාම විශිෂ්ටතම සමුළුව බවට ප්‍රකාශ කළා."

මෙවර සමුළුව ශ්‍රී ලංකාව පැවැත්වීමෙන් සිදු වූයේ යටපත්ව තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය නැවත ජාත්‍යන්තර ලෙස මතු වීම නොවේ දැයි සංදේශය අමාත්‍යවරයාගෙන් විමසුවා.

"නෑ මම ඒක පිළිගන්නේ නෑ, මොකද ජිනීවා ගිය අපට මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන වුනේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඒක ප්‍රකාශ කරපු එක විතරයි."

බ්‍රිතාන්‍ය අගමැතිවරයා නිසි රාජ්‍යතාන්ත්‍රිකයෙක් නොවන බව ලෝකයට ප්‍රදර්ශනය කළ බව අමාත්‍යවරයා පවසන්නේ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව බ්‍රිතාන්‍යයට තම විරෝධය පළ කරන්නේද යන්න සංදේශය ඔහුට යොමු කළ තවත් ප්‍රශ්නයක්.

"නෑ අපි විරෝධය පල කරන්නේ නෑ, ඕන රාජ්‍ය නායකයෙකුට ඇවිල්ල ඕනෑ විදිහට හැසිරෙන්න පුළුවන්, නමුත් ලෝක ජනතාව මේ රාජ්‍ය නායකයාගේ ක්‍රියා කලාපය පිළිබඳව මම දන්නවා ඉතා දුක්වෙනවා සහ ඒ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරනවා."

රාජ්‍ය නායකයන් ගෙන්වා ගැනීමට නොහැකිව රජය ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර ලෝකය ඉදිරියේ අපකීර්තියට ලක් කළ බව මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

"ආණ්ඩුව කිව්වේ අච්චර එනවා මෙච්චර එනවා කියල, අන්තිමට ආවේ විසි හතරයි. මෑත ඉතිහාසයේ තිබුණු පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවලින් අඩුම රාජ්‍ය නායක සහභාගිත්වයක් යුතු සමුළුව තමයි ලංකාවේ තිබ්බේ," බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ.

සමුළුවට සහභාගි වුණු රටවල් පවා එයට එක් වූයේ තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

"ඕස්ට්‍රේලියාවේ තිබුන අරමුණක් ජේම්ස් පැකර්ගේ කැසිනෝ සූදුව හඳුන්වා දෙන්න. ඒවගේම අපේ රටේ සංක්‍රමණිකයන් එන එක වලක්වගන්න. බ්‍රිතාන්‍යයට ඕන වෙලා තිබුණේ ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය මතු කරනන," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බ්‍රිතානයේ චැනල්4 නාලිකාවේ කැලම් මැක්රේට ශ්‍රී ලංකාවට ආරාධනා කොට ආණ්ඩුවේම පිරිස් අනුරාධපුරයේදී ඔවුන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳව ලෝකයට දැනගැනීමට හැකිවූ බවද විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් වූ බව පවසන ආණ්ඩුව එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නැංවීමට හැකි වූ බව අවධාරණය කරයි.