අපේ අභ්‍යන්තර ප්‍රශ්න කතා කරන්න කාටවත් අයිතියක් නෑ - ඇමති සුසිල්

Image caption 'ඉස්සෙල්ල තමන්ගේ රටවල්වල ප්‍රශ්ණ විසඳ ගන්නයි කියන්න. අපේ රටවල්වල ඒව කතා කරන්න ඕන නෑ'

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවක් ගැන කතා කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුලා දැමීමට ශ්‍රී ලංකාවට ඉඩ නොදෙන බවට ඉන්දීය මුදල් අමාත්‍ය පී චිදම්බරම් පසුගිය සතියේ කරන ලද ප්‍රකාශය පිළිබඳව බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි විමසීමක් කළ අවස්ථාවේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවලට අත පෙවීමට වඩා ඉන්දියාව කළ යුත්තේ සිය රටේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කිරීම බවයි ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසන්නේ.

"මොකද මීට වඩා ප්‍රශ්න එහෙ තියෙනව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

උතුරු නැගෙනහිර

කෙසේ නමුත් මහ මැතිවරණයක් මුව විටේ තිබියදී දේශපාලකයන් කරන ප්‍රකාශ එතරම් බැරෑරුම්ව සැලකිය යුතු නැති බවද ඔහු පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමක් පිළිබඳව දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිම සඳහනක් නැති බව පවසන අමාත්‍යවරයා, ඉන්දු-ලංකා ගිවිසුමට අනුකූලව එවැනි තාවකාලික ඒකාබද්ධ කිරීමක් කෙරුණද එය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවාසී සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට තිබෙන බව පවසන අමාත්‍ය ප්‍රේම්ජයන්ත්, උතුරේ සංචාරයක යෙදී එහි පවතින තත්වය දැක ගන්නා මෙන් අමාත්‍ය චිදම්බරම්ට ආරාධනයක්ද කරයි.

"දකුණු ඉන්දියාවට වඩා හොඳ ජීවන තත්වයක් තියෙනව උතුරේ ඉන්න ජනතාවට," බව පවසන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, දෙමළ ජනතාවට නිවාස සම්පාදනය කිරීම පිණිස ඉන්දියාවට ඉඩම් ලබා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව බව අමතක කළ යුතු නැතැයිද පවසයි.

"ඉස්සෙල්ල තමන්ගේ රටවල්වල ප්‍රශ්ණ විසඳ ගන්නයි කියන්න. අපේ රටවල්වල ඒව කතා කරන්න ඕන නෑ, ඒවා අපි බලා ගන්නම්," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර