උතුරේ සේනා අඩු කිරීමට ලෝක නායක බලපෑම් ඉල්ලයි

  • 2013 දෙසැම්බර් 3

උතුරේ රඳවා සිටින සන්නද්ධ සේනා අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන මෙන් මහ ඇමැති සී වී විග්නේස්වරන් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටී.

අභ්‍යන්තරිකව උන්හිටි තැන් අහිමි වුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චලෝකා බෙයානි යාපනයේ දී හමු වී මෙම ඉල්ලීම කළ බවයි මහ ඇමැති වරයා පවසන්නේ.

විශේෂ නියෝජිතයා සඳුදා පටන් ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක් ආරම්භ කරමින් කියා තිබුනේ රටේ උන්හිටි තැන් අහිමි වූවන්ගේ තත්වය පරීක්ෂා කොට බලන බවයි.

උන් හිටි තැන් අහිමි වුවන් ඇතුළු පීඩාවට පත් ප්‍රජාවන් මුණ ගැසී තොරතුරු රැස් කරන බවයි ඔහු පවසා තිබුනේ.

අක්කර හය දාහක්

යුද හමුදාව ඉඩම් අක්කර හය දාහක් අත් පත් කර ගෙන සිටීමෙන් ජනතාව දුකට පත්වී සිටින ආකාරය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා සමග කතා කළ බවත් මහ ඇමැති විග්නේස්වරන් මාධ්‍ය වේදීන් අමතා අඟහරුවාදා ප්‍රකාශ කළේය.

කිලිනොච්චියේ හමුදාව රඳවා තිබෙන ආකාරය පිලිබඳ විස්තර විශේෂ නියෝජිත චලෝකා බෙයානි වෙත ලබා දුන් අතර උතුරේ වෙනත් තැන් වල හමුදාව ස්ථාන ගත කර තිබෙන ආකාරය ගැන ලිඛිත විස්තර එවන බව ද මහ ඇමැති වරයා අභ්‍යන්තරිකව උන්හිටි තැන් අහිමි වුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයා හට ප්‍රකාශ කොට තිබේ.

උතුරේ හමුදාව රඳවා තැබීමේ සැබෑ අරමුණ සේ දිස් වන්නේ ‘නැගෙනහිර මෙන් සිංහල ජනතාව පදිංචි කරවීම’ යයි මහ ඇමැති වරයා බිය පළ කරයි.

රැකියා ප්‍රස්තා අහිමි වීම

ආර්ථිකයේ දුෂ්කරතා පවතින බවටත් මහ ඇමැති විග්නේස්වරන් පැමිණිලි කොට තිබේ.

‘මාළු බෑමේ, ගොවිතැනේ පමණක් නොව සිල්ලර කඩ කිරීමේත් යුද භටයන් නිරත වී සිටින හෙයින්,’ ජනතාවට රැකියා ප්‍රස්තා අහිමි වී ඇති බවයි ඔහු පවසන්නේ.

උතුරේ ‘සියලුම ප්‍රශ්න වල මුල හමුදාව රඳවා තැබීම’ බව තමන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා හට දන්වා සිටි බව ද උතුරේ මහ ඇමතිවරයා පැවසීය.

එසේ හෙයින්, එක්සත් ජාතීන් මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීම තුලින් හමුදා අඩු කරවා ගැනීම ඇතුළු උතුරේ තත්වය යහපත් අතට හරවා ගැනීම සඳහා වන පියවර ගත හැකි වනු ඇතැයි යන්න සී වී විග්නේස්වරන් ගේ විශ්වාසයයි.

පූර්ණ වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චලෝකා බෙයානි මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කළේ අභ්‍යන්තරිකව උන්හිටි තැන් අහිමි වුවන් සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළ බව පමණයි.

“පශ්චාත් යුද සමයේ අභ්‍යන්තරිකව උන්හිටි තැන් අහිමි වුවන්, ඔවුන්ට විසඳුම්, ඒ විසඳුම් කරා ළඟා වීමට තියන මාර්ග සහ බාධක පිළිබඳව” කතා කළ බව ඔහු පැවසීය

ඔහු උතුරේ ආණ්ඩුකාර මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි ද හමුවී තිබේ.

හෙට දිනයේ මුලතිව් බලා යන ඔහු තොරතුරු විමසීමට ආණ්ඩුවේත්, ප්‍රජා සංවිධාන වලත්, එක්සත් ජාතීන්ගේ ආයතනවලත් නියෝජිතයන් මුණ ගැසීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සංචාරය හමාරයේ මුලික නිරීක්ෂණ ලිඛිතව ලබා දෙන විශේෂ නියෝජිත බෙයානි පූර්ණ වාර්තාවක් ලබන ජූනි මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර