Nisha Biswal
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පරීක්ෂණවල ප්‍රගතියක් නැත්නම් ඉවසීම අඩු වේවි - ඇමෙරිකාව

යුද අපරාධ චෝදනා විභාග කිරීම සම්බන්ධයෙන් සැබෑ ප්‍රගතියක් පෙන්නුම් නොකරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉවසීම අඩු විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ඒ බව කියා සිටියේ අඟහරුවාදා වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

"ඇමරිකා එක්සත් ජනපදය සහ මිතුරන් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අපේ සියළුම මිතුරන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම, දේශපාලන අවකාශය සහ මානව හිමිකම් පිළිබඳව අවධාරණය කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රගතියක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවේ මිතුරන් සමග වැඩ කර ගෙන යාමට අපි කැප වී සිටිනවා," යනුවෙන් ද ඇය කියා සිටියාය.

එබැවින් ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ස්ථිර වැඩපිළිවෙලක් ආරම්භ කරන මෙන් ඇය ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා සිටියාය.

"මේ ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තමන්ගේම ක්‍රියාවලින් උපයෝගී කර ගෙන හොයා බලනවා නම් අපි ඒ ගැන සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා ඒක එහෙම වේවි කියලා. සැබෑ ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ නැත්නම් - විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන්- ජාත්‍යන්තර ප්‍රජාවේ ඉවසීම අඩුවේවි."

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙහිලා ඉක්මන් ප්‍රගතියක් සිදු වනු දැකීමට එක්සත් ජනපදය උනන්දුවෙන් බලා සිටින බවද ඇය සඳහන් කළාය.