ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැඩිම හෙරොයින් ඇල්ලුවේ මේ වසරේ - පොලිසිය

මත්ද්‍රව්‍ය වැටලීම් ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගය සොයා ගත්තේ මේ වසරේ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

Image caption මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලකයන් සම්බන්ධ බව 'තවමත් අනාවරණය වී නැහැ'

හෙරොයින් කිලෝග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණයක් මේ වසර තුල අත් අඩංගුවට ගත් බව පවසන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, හෙරොයින් ජාවාරම මෙසේ එක් වරම උත්සන්න වීමට හේතුව කවරක් දැයි පරීක්ෂණ පැවැත්වෙන බව කියා සිටියේය.

පොලිස් ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කරන එක් මාර්ගයක් හඳුනා ගෙන තිබෙන බව පවසන ඔහු, තවමත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් දැනට එය අනාවරණය කළ නොහැකි බවද කියා සිටියේය.

අගමැති ලේකම්

හෙරොයින් කිලෝග්‍රෑම් 260 ක් රැගත් කන්ටේනර දෙකක් පසුගියදා අත් අඩංගුවට ගැනුණු අතර, එම කන්ටේනරවල හෙරොයින් අඩංගු බව අනාවරණය වීමට පෙර අදාළ කන්ටේනරවල ගුදම් ගාස්තු අඩු කරන මෙන් ඉල්ලමින් රේගු නිලධාරීන්ට ලිපියක් යොමු කළ අගමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු පසුගියදා පදවියෙන් ඉල්ලා අස් විය.

එය අනාවරණය වීමෙන් අනතුරුව අගමැති දිමු ජයරත්නට එරෙහිව පරීක්ෂණ පවත්වන මෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පාලක සන්ධානයේ ජාතික හෙළ උරුමයද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අදාළ චෝදනාව පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වෙන නමුත් එම විමර්ශනයේ අරමුණ කන්ටේනරවල තිබූ හෙරොයින් බෙදා හැරීමට නියමිතව තිබුනේ කාට දැයි සොයා බැලීම බවයි, පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලන නායකයන් සම්බන්ධ බවට මෑතදී පැවැත්වුණු පරීක්ෂණවලදී අනාවරණය වී නැති බවද ඔහු කියා සිටියේය.