දෙමළ ජාතික සන්ධානය යුද හානි සංගණනය හෙළා දකී

  • 2013 දෙසැම්බර් 24
Image caption ආර් සම්බන්ධන් මන්ත්‍රී වරයාගේ නායකත්වයෙන් වවුනියා නගර සභාවේ පැවති නායකත්ව සමුළුව

යුද්ධයෙන් හානියට පත් පුද්ගලයන් ගණනය කිරීම ඉලක්ක කොට ගෙන රජය විසින් පවත්වනු ලැබූ දීප ව්‍යාප්ත සංගණනයක් දෙමළ ජාතික සන්ධානය විසින් දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.

නායකත්ව සමුළුවකින් අනතුරුව වවුනියාවේ දී කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පැවසුවේ තම සන්ධානය සංගණනය හෙළා දකින බවයි.

කෙසේ වෙතත්, මාසයකට පමණ ඉහත දී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංගණනයට තමන් විරෝධය පාන්නේ ඇයි දැයි සුමන්දිරන් මන්ත්‍රීවරයා විස්තර කළේ නැහැ.

යුද්ධයෙන් උන්හිටි තැන අහිමි වුවන් හට තම නිවෙස් කරා යාමට ඉඩ සලසා දෙන මෙන් දෙමළ ජාතික සන්ධානය රජයෙන් නැවත ඉල්ලා සිටින්නේ යයි ද ඔහු ප්‍රකාශ කළේය.

රජය සමග සාකච්ඡා

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුවත් දමිළ ජාතික සන්ධානයත් අතර සාකච්ඡාවක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑත දී කළ ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊට සුදුසු නොවන බවයි.

දෙමළ ජාතික ප්‍රශ්නයට එමගින් විසඳුමක් ලබා ගත හැකි වෙතැ’යි සන්ධානය විශ්වාස නො කරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, ඉදිරි සාකච්ඡාවක් සම්බන්ධයෙන් පවතින ඉඩකඩ ඔහු ප්‍රතික්ෂේප කළේ නැත.