ධීවර නායක පුත්‍රයා අතුරුදහන්

  • 26 දෙසැම්බර් 2013
Image caption තමිල් අමුදන්

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයන්ගේ සංගමයේ ලේකම් කන්දවනම් සූරියකුමාරන් ගේ විසි දෙහැවිරිදි පුත්‍රයා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා විය.

සිද්ධිය බීබීසීයට විස්තර කළ ධීවර ක්‍රියාධාරී කන්දවනම් සූරියකුමාරන් කියා සිටියේ තම පුතු තමිල් අමුදන් පැහැර ගත් බව තමා දැන ගත්තේ තම ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක් මගින් බවයි.

ආයුධ සන්නද්ධ හතර දෙනෙකු පැමිණ ඔහු පැහැර ගෙන ගොස් ඇති බව එම පණිවිඩයේ සඳහන් වන බවයි සූරියකුමාරන් පවසන්නේ.

සිද්ධිය පිළිබඳ ව පොලිසියට පැමිණිලි කළ බවත් තම පුතු තමිල් අමුදන් පැහැර ගැනීමේ සිද්ධියට රජයේ ඔත්තු සේවා සම්බන්ධ බවට තමා විශ්වාස කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

රජයේ බලධාරීන් මේ පිළිබඳ ව කිසිවක් ප්‍රකාශ කර නැත.