සිද්ධස්තානවලට පහර දීම ගැන 'පොලිස් පරීක්ෂණ නෑ'

  • 2014 ජනවාරි 1
Image caption "බොහෝ විට පහර දීම් සිදු වූයේ පොලිසිය සහ මහජනතාව බලා සිටියදී"

සුළු ජාතීන්ගේ ආගමික සිද්ධස්තානවලට පහරදීමේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන මෙන් නීතිවේදී සංවිධානයක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිරත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් හින්දු, මුස්ලිම් සහ කතෝලික ආගමික සිද්ධස්ථාන ගණනාවකට මෑතදී එල්ල වූ ප්‍රහාරවලට අදාළ පොලිස් පරීක්ෂණ නිසි පරිදි සිදු වී නොමැති බවයි, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ ලාල් විජේනායක බීබීසී සංදේශයටකියා සිටියේ.

එවැනි ප්‍රහාර ගණනාවක්ම මෙහෙයවනු ලැබුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් බව පවසන ඔහු, එමගින් නිදහසේ ආගම ඇදහීමේ සුළු ජාතීන්ගේ අයිතිය උල්ලංඝනය වී ඇතැයිද සඳහන් කරයි.

"මේක රජය සම්පූර්ණයෙන්ම ඒක අනුමත කරන ආකාරයට අහක බලා ගෙන ඉඳීමක් තමයි සිදු වෙලා තියෙන්නේ," යනුවෙන්ද නීතිවේදී ලාල් විජේනායක සංදේශයට කියා සිටියේය.

එම ප්‍රහාර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා, සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පැහැර හරින බවටද නීතිවේදී සංගමය පොලිසියට චෝදනා කරයි.

බොහෝ විට ආගමික සිද්ධස්තානවලට පහර දීම් සිදු වූයේ පොලිසිය සහ මහජනතාව බලා සිටියදී බව පවසන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය, එබැවින් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා සාක්ෂි නොමැති බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර