කැනඩා මන්ත්‍රීවරිය අත් අඩංගුවට ගැනීම 'අභූත චෝදනාවක්'

Image caption 'පැහැදිලිව පේනවා ඇයට න්‍යාය පත්‍රයක් තියෙනව කියල. එහෙමයි කියල අපි දොරවල් වහල නැහැ'

ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලෙමින් සිටින කැනඩාවේ විපක්ෂ මන්ත්‍රීවරිය අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට කෙරෙන චෝදනාව 'පදනම් විරහිත අභූත චෝදනාවක්' බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

රජයේ ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී.

කැනඩාවේ විපක්ෂ මන්ත්‍රීනි රාධිකා සිත්සබෙයිසන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට සහ උතුරේදී ඇය කළ සංචාර අධීක්ෂණය කළ බවට රජයේ ආරක්ෂක අංශවලට චෝදනා එල්ල වී තිබිණ.

'න්‍යාය පත්‍රයක්'

එහෙත් ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඇයගේ පසුබිම පිළිබඳව රජය දැන සිටි බව පවසන අමාත්‍යවරයා, ඇයගේ සංචාරයට විරුද්ධ නම් ඇයට රටට ඇතුල්වීමට ඉඩ නොදිය හැකිව තිබූ බවද කියා සිටියේය.

"එතුමියට මන්ත්‍රීවරියක් හැටියට යන්න ලැබුන නිදහසේ. ඒ ගිහිල්ලානේ කතා කරන්නේ දැන්? පැහැදිලිව පේනවා ඇයට න්‍යාය පත්‍රයක් තියෙනව කියල. එහෙමයි කියල අපි දොරවල් වහල නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

ඒ කෙසේ වුවත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යම් කිසි සෝදිසියක් තිබීමේ වරදක් නොමැති බවද අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේය.

මාර්තු මස ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් මතු වුව හොත් ඊට මුහුණ දීමට රජය කටයුතු කරන්නේ කෙසේ දැයි මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ එහිදී ජාත්‍යන්තර වශයෙන් දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තූ වන බවයි.

ශිෂ්‍යත්ව විභාගය

"අපි අන්තිම දරුණුම තැන ඉඳල බලාපොරොත්තු වෙලා කටයුතු කරනවා. එතැන් ඉඳන් අපි කටයුතු කරනවා," යනුවෙන් ඔහු පැවසීය.

"අපි තනිවෙලා කියල කවුරු හරි කියනව නම් ඒක වැරදියි. ජය පරාජය වෙනි අපිට 30 ක් හම්බ වෙන කොට අනිත් පැත්තට 35 ක් ලැබෙනවා. ඒ කියන්නේ අපි තනිවෙලා නැහැ."

මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයද මාධ්‍ය හමුවේ අවධානයට ලක් විය.

"ශිෂ්‍යත්වය ඉදිරියට යනව. ශිෂ්‍යත්වය නවත්වන්නේ නැහැ, කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරුන්ගේ අදහස් මතු වුණා, එය ඉදිරියට ගෙන යා යුතුයි කියන මතයේ ඉන්නවා," යන්නයි ඒ ප්‍රශ්නයට ඇමතිවරයාගේ ප්‍රතිචාරය වූයේ.

ශිෂ්‍යත්ව විභාගය ලිහිල් කිරීමේ හා එම පීඩනය සැහැල්ලු කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව තිබෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර