'තනතුරින් ඉවත්වන්න' අගමැතිට බලපෑම්

  • 2014 ජනවාරි 5

අගමැති වරයා තනතුරින් ඉවත් කරන ලෙස ජනපතිගෙන් ඉල්ලන පෙත්සමකට අත්සන් ගැනීම අද පෙරවරුවේ ඇඹිලිපිටියේදී ආරම්භ විය.

ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ සංඝරත්නයට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් කිරීම සහ කන්ටේනරයක් මුදා ගැනීමට අනුබල දීමයි දිමු ජයරත්න අගමැතිවරයා ට එරෙහිව නැගුණු චෝදනාව.

මුදා හැරීම කඩිනම් කරන ලෙස ඉල්ලීමක් කළ රේගුව භාරයේ රඳවා ගෙන තිබු කන්ටේනරයක මත්ද්‍රව්‍ය තිබු බව හෙළි වීමෙන් පසු අගමැති වරයාගේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ‍්‍රී වීරසිංහ ඉකුත් මාසයේ ඉල්ලා අස් විය.

අගමැති වරයා තනතුරින් ඉවත් කරන්නැ’යි ඉල්ලමින් ඉරිදා ඇඹිලිපිටිය නගරයේ සංඝයා වහන්සේ ද එක් කොටගෙන විරෝධතාව පැවැත්වූ සංඛ්‍යාව තුන් දහසකට වැඩි බවයි අජිත් ලාල් ශාන්ත උදය වාර්තා කරන්නේ.

නගරයේ කඩ සාප්පු වසා තිබුණු අතර පෙළපාලියේ පැමිණි අය අත අගමැතිට විරෝධය පාන පාඨ සහිත පුවරු මෙන් ම කළු කොඩි ද තිබුණි.

පෙළපාලිය නිසා ඇඹිලිපිටිය නගරයේ වාහන ගමනාගමනයට උදේ පැය දෙකක පමණ බාධා එල්ල විය.

ඇඹිලිපිටිය නගරයේ විශාකා සිනමා හල අසලින් පෙරවරුවේ ආරම්භ වූ පෙළපාලිය මොරකැටිය හන්දිය, කෙලින් වීදිය හරහා පොදු බස් නැවතුම් පොළ වෙත පැමිණියේය. ඉන් අනතුරුව ඔරලෝසු කුලුන අසලට ගොස් රැස්වීමක් ද පවත්වන ලදී.

ඇඹිලිපිටිය බෞද්ධ එකමුතුවයි මේ පෙළපාලිය සංවිධානය කර තිබුණේ. ජාතික සංඝ සම්මේලනයේ හිමිවරු ද ඊට එක් ව සිටිය හ.

පෙළපාලිය සහ රැස්වීම අවසන් වූ පසු කඩ සාප්පු දහවල් එකොළහ වන විට නැවත විවෘත කර තිබුනි.