ප්‍රගීත් නඩුවට ඇමති ලක්ෂ්මන් යාපාට නොතීසි

  • 2014 ජනවාරි 8
Image caption අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

අතුරුදහන් වී සිටින තම සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දීයි මෙම නියෝගය කෙරුණේ.

ප්‍රගීත් එක්නැලිගොඩ ලංකාවේ සිටින බවත් ආරක්ෂක අංශවල නොහැකියාව නිසා සොයා ගැනීමට නොහැකි බවත් අබේවර්ධන අමාත්‍යවරයා 2012 වසරේ දී ලංකා පුවත් පතට ප්‍රකාශයක් කර තිබූ බවයි පෙත්සම් කාර පාර්ශවයේ නීතිවේදියා අධිකරණය හමුවේ කියා සිටියේ.

ඒ පිළිබඳව සාක්ෂි සටහන් කර ගැනීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට මෙන්ම ලංකා පුවත් පතේ කතුවරයාටද නොතීසි නිකුත් කර තිබේ.