මන්නාරම සමුහ මිනී වලේ මළ සිරුරු විස්සක්

මන්නාරමේ තිරුකේතීස්වරම් හිදී හමු වූ සමුහ මිනී වලේ මළ සිරුරු විස්සකට අධික සංඛ්‍යාවක් තිබෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න බී බී සී සංදේශයට පැවසීය.

මහා මාර්ගයක් තැනීමේ දී අහම්බෙන් මතු වූ මේ සමුහ මිනී වල දුටු සැනින් මෙය නීති විරෝධී අයුරින් මළ සිරුරු වල දමා ඇති තැනක් බව තීරණය කළ බවත් තවමත් මළ සිරුරු විද්‍යාගාරයකට ගොස් නැති බවත් වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න ප්‍රකාශ කළේය.

මළ සිරුරකට සම්බන්ධයක් නැතිව වෙන් ව ගිය ඇට කැබලි පමණක් මන්නාරම අධිකරණය භාරයට පත් කොට ඇති අතර සෙසු මළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ සමුහ මිනීවල තුලම තිබෙන බව යි ඔහු ප්‍රකාශ කළේ.

එකිනෙක හරහා වැටී ඇති මළ සිරුරු පොළවේ පස් ස්තර කීපයක් හරහා වැටී තිබෙන අතර දැනට මීටරයක් පමණ ගැඹුරට කැනීම් කොට ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා කියා සිටියේය.

Image caption තිරුකේතීස්වරම් සමුහ මිනී වලේ කැනීම්

පුරා විද්‍යාත්මක ගවේෂණ කැනීම් වලදී භාවිතා කරන ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉතා හෙමින් මෙම කැනීම කරන බවයි අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කළේ.

මෙම සමුහ මිනී වලේ තිබෙන ඇට සැකිලි කෙළින් හිටුවා ඒවායේ උස ඇතුළු දේහ ලක්ෂණ විමර්ශනය කිරීම විමර්ශනයේ මුල් පියවර වන බව අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න කියා සිටියේය.

ගෙවී ගිය වසරේ දෙසැම්බර් මස අගදී ආරම්භ වූ නැවත ජනවාරි 16 වැනිදා ආරම්භ කෙරෙන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර