උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

  • 2014 ජනවාරි 9

ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි.

යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් සහ ඇමරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ගේ, පුදුමාතලන් හිදී බ්‍රහස්පතින්දා ගන්නා ලද බව සඳහන්, ඡායාරූපයක් ද රැගත් ට්විටර් පණිවුඩයකින්, එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා ඇත්තේ ‘ශාන්ත අන්තෝනි පිටිය - යුද හමුදා ෂෙල් ප්‍රහාරයෙන් 2009 ජනවාරියේ පවුල් සිය ගණනක් ඝාතනය කැරුණු ස්ථානය’ යනුවෙන්.

බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමේ දී එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයේ ඇත්තේ ඔවුන්ගේ නිල ස්ථාවරය බවයි.

ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටිය පිහිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුමාතලන් අසල ඉරනෙයිපලෙයි හි.

යුද මුක්ත කලාපය

Image caption පුදුකුඩියිරුප්පුවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කලින් පිහිටි ස්ථානයේ දී

ශ්‍රී ලංකා රජය විසින් ‘දෙවැනි යුද මුක්ත කලාපය’ ලෙස නම් කර තිබුණ පුදුමාතලන් පාසල හා රෝහල පිහිටි ස්ථානය සහ පුදුකුඩියිරුප්පුවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කලින් පිහිටි ස්ථානය කරා එක්සත් ජනපද තානාපති දෙ පල ගිය බවත් ඡායාරූප සහිතව ට්විටර් පණිවුඩයේ සඳහන්.

දෙදහස් නවයේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ අවසාන අදියරේ දී යුද අපරාධ බෙහෙවින් සිදු වූ බවට චෝදනා කැරෙන කලාපයටයි, තමන් ගිය බව ඇමරිකානු දුත මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

එක්සත් ජනපදය ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව මෙම චෝදනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව පිලිබඳව මාර්තුවේ අලුතින් යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු.

යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා රජය පවසන්නේ උතුරේ තමන් ‘මානුෂික මෙහෙයුමක්’ දියත් කළ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර