ශිෂ්‍යත්වයෙන් බඳවා ගැනීම අඩු කිරීම ගැන පරීක්ෂණ

  • 10 ජනවාරි 2014
'2011 ආනන්ද විද්‍යාලයේ ළමයි 249, මේ අවුරුද්දේ 167 ට බස්සල තියෙනව'

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව අඩු කිරීමට ජනප්‍රිය පාසල් තිස් හයක් ගෙන තිබෙන තීන්දුව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කළේය.

විභාගයෙන් ඉහල ලකුණු ලබා ගත් ශිෂ්‍යයන්ට ජනප්‍රිය පාසල් ලබා දී නොමැති බවට සිසුන්ගේ දෙමාපියන් සහ ගුරු සංගම් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවයි, කොමිසම එම නියෝගය කළේ.

මේ වසරේ සිසුන් විශාල පිරිසක් විභාගය සමත්වීම බඳවා ගන්නා පිරිස අඩු කිරීමට හේතුව බවට අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි, අසාධාරණයට පත් වූ සිසුන්ගේ මා පිය සංගමයේ සභාපති ධම්මික අබේසිංහ බීබීසී සංදේශයට පැවසීය.

නිලධාරීන් නෑ

"2011 ආනන්ද විද්‍යාලයේ ළමයි 249, මේ අවුරුද්දේ 167 ට බස්සල තියෙනව. නාලන්ද විද්‍යාලයේ 130, මේ අවුරුද්දේ 99 ට බස්සල තියෙනව," යනුවෙන් ඔහු තවත් උදාහරණද ගෙන හැර දැක්වීය.

අද පැවැත්වුණු විභාගය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිදු නිලධාරියකු මානව හිමිකම් කොමිසමට නොපැමිණීම ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

අදාළ පරීක්ෂණය මාර්ගයෙන් හෝ තමන් සතු බලය ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් කොමිසම ක්‍රියා කළ යුතු බවද ගුරු සංගම් නායකයා සඳහන් කළේය.

ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවට කොමිසම ප්‍රතිඥා දී තිබේ.

මේ වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර, කැබිනට් මණ්ඩලය එවැනි තීන්දුවක් නොගත් බවයි රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉන් අනතුරුව කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර