ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවට යන්නේ නෑ - ජෝන් අමරතුංග

ආණ්ඩු පක්ෂයට එක් වීමට කිසිදු සූදානමක් නැති බව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැද පෙරදිග සංචාරයට එක් වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග ප්‍රකාශ කරයි.

තමන් ජනාධිපතිවරයා සමග විදේශ සංචාරයට සම්බන්ධ වූයේ එම රටවල ආගමික සිද්ධස්ථාන නැරඹීමට බවයි, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා බීබීසී සංදේශය කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ.

Image caption 'රජයට එකතු වෙන්න අදහසකුත් නැහැ, එහෙම ආරාධනයකුත් නැහැ'

"මම ගියේ ආගමික කටයුත්තකට. එහෙම රජයට එකතු වෙන්න අදහසකුත් නැහැ, එහෙම ආරාධනයකුත් නැහැ. එහෙම යන්න බලාපොරොත්තුවකුත් නැහැ," යනුවෙන්ද ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පැවසීය.

ආගමික සිද්ධස්ථාන නැරඹීමට අවශ්‍ය නම් ඒවා නැරඹීමට පෞද්ගලිකව හැකියාව තිබියදී මෙලෙස ජනපතිවරයා සමඟ සංචාරය කළේ ඇයි දැයි විමසූ විට මන්ත්‍රීවරයා පැවසුවේ පලස්තීනයේ ඊශ්‍රායලයේ, හා ජෝර්දානයේ ඇතැම් ස්ථානවල සංචාරය කිරීමට පිටස්තරයන්ට තහංචි පැනවෙන නිසා තමන් මෙම අවස්ථාව උපයෝගී කර ගත් බවයි.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය නායකයන් අතර තිබූ හමුවීම් කිහිපයක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ද සිටිනු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ඡායාරූපවල දක්නට ලැබින. කෙසේ නමුත් තමන් ද්විපාර්ශික සාකච්ඡාවලට සම්බන්ධ නොවූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

'ජාත්‍යන්තර තර්ජන'

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා මේ ආකාරයෙන් ජනාධිපතිවරයා සමඟ විදේශ සංචාරවල යෙදීම ජනතා විමුක්ති පෙරමුණේ දැඩි විවේචනයට ලක් විය.

වර්තමන එක්සත් ජාතික පක්ෂය හා එහි සාමාජිකයන් "කිසිදු විනයක් නැති, ඉලක්කයක් නැති, අරමුණක් නැති" කණ්ඩායමක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

"සමහරු ආණ්ඩුවත් එක්ක ඇති සම්බන්ධතා ආණ්ඩුවට ගිහිල්ල අමාත්‍ය තනතුරු අරගෙන පෙන්නුම් කරනවා. තවත් සමහර පිරිස් විපක්ෂයේ ඉඳගෙනම මේ විදිහට වරප්‍රසාද අරන් පෙන්නනවා," බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, අදාළ සංචාරය සඳහා මුදල් යොදවනු ලැබුවේ ජනාධිපති කාර්යාලයෙන් නම් පෞද්ගලික සංචාරයක් සඳහා මහජන මුදල් යොදා ගත්තේ මන්දැයි අමරතුංග මන්ත්‍රීවරයා පැහැදිලි කළ යුතු බවද සඳහන් කළේය.

Image caption 'එජාපය හා එහි සාමාජිකයන් කිසිදු විනයක් නැති, ඉලක්කයක් නැති, අරමුණක් නැති පිරිසක්'

විපක්ෂයේ සහයද තමන්ට තිබෙන බව ලොවට පෙන්වීමට ආණ්ඩුව මෙම අවස්තාව උපයෝගී කර ගත් බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

"අද ආණ්ඩුවට මුහුණදෙන්න වෙලා තියෙනව ජාත්‍යන්තර වශයෙන් තර්ජන. ඒවාට මුහුණ දෙන්න තමන්ට විපක්ෂයෙත් සහාය තිබෙන බව පෙන්විමටයි ඔවුන් උත්සාහ කළේ."

විපක්ෂනායක රනිල් විදේශගත වූ අවස්ථා කිහිපයකදීම වැඩ බලන විපක්ෂනායකවරයා ලෙසද කටයුතු කළ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා සමග සංචාරය කිරීමට අවසර ලබා දීම පිළිබඳව සංදේශය එජාප මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් විමසීමක් කළේය.

"එතුමාට ආගමික උත්සවයකට සහභාගි වෙන්න අවසර දුන්නා. හැබැයි කිසිදු රාජ්‍ය උත්සවයකට හෝ නිල උත්සවයකට සහභාගි නොවන ලෙස දන්වා තිබුනා," යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

"එතුමා ලංකාවට දැන් පැමිණ තිබෙනවා, ආණ්ඩුවට එක් නොවන බවටත් ප්‍රකාශ කරලා තියෙනව. දැන් ඉතින් ප්‍රශ්නය ඉවරයිනේ,"යනුවෙන්ද ඔහු පැවසීය.