සිද්ධස්ථාන ගැන සිහි කැඳවීමක්

  • 2014 ජනවාරි 11
government notice
Image caption ආණ්ඩුවේ නිවේදනය

ජාතික සමගියට බාධාවක් විය හැකි හෙයින් නව ආගමික සිද්ධස්ථාන පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බවට දෙදහස් අට වර්ෂයේ දී සිදු කළ චක්‍ර ලේඛනය ගැන සිහි කැඳවීමක් මාධ්‍ය ඔස්සේ යළිත් කිරීමට සිදු වී ඇතැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන සංදේශයට පැවසීය.

නව ආගමික මධ්‍යස්ථාන ගොඩනැගීමේ ප්‍රවණතාවක් රට තුළ දක්නට ලැබෙන බවයි, නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන කියා සිටින්නේ.

අනවසරයෙන් ගොඩ නගා ඇති ආගමික සිද්ධස්ථාන ඉවත් කිරීමට පෙර එහි භාර කරුවන්ට ඒවා ඉවත් කර ගන්නැයි ඔවුන්ට දන්වා සිටින බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

අලුත් ආගමික මධ්‍යස්ථාන ගොඩ නැගීම සම්බන්ධයෙන් සීමා පැනවීම හේතුවෙන් යුද්ධය නිසා විනාශ වූ බෞද්ධ සහ හින්දු සිද්ධස්ථාන යළි ගොඩ නැගීම අසීරු විය හැකි බව මේ පිළිබඳව බී බී සී සංදේශය වෙනුවෙන් අදහස් විමසූ ශාන්ති සෙල්වදොරේට මඩකලපුවේ ශ්‍රී මංගලාරාමධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ප්‍රකාශ කළහ.

මඩකලපුවේ වෙසෙන හින්දු ආගමික පූජක මහේෂ්වර ශෛවේන්ද්‍ර ස්වාමි කියා සිටියේ, ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා ආගමික සිද්ධස්ථාන පිහිටුවීම සහ පවත්වාගෙන යෑම පිළිබඳව පාලනයක් ඇති විය යුතු බවයි.මුස්ලිම්වරුන් නියෝජනය කරන ජාමියතුල් උලෙමා සභාවේ මාධ්‍ය ප්‍රකාශක සාසිල් ෆාරුක් මව්ලවිතුමන් කියා සිටියේ තමන් රටේ නීතියට ගෞරව කරන බවයි.