ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘අපි ශ්‍රී ලංකා’ - වැලිවේරිය උද්ඝෝෂකයෝ

රජය විසින් පොරොන්දු වූ ප්‍රකාර වැලිවේරිය ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳා දෙන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අත්හිටු වන්නට සිදු වී ඇති බව සංවිධායකයෝ පවසති.

'අමාත්‍ය වරයකු ගේ මැරයො දාගත්තු ඩිෆෙන්ඩරයක්,' එහා මෙහා යන හෙයින් බියපත් ව සත්‍යග්‍රහය අතහැර නීති මගට බැසීමට තීරණය කළ බවයි සියනෑ ජලය සුරකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම් කරු ප්‍රමිත කියා සිටියේ.

පානීය ජල දූෂණයට චෝදනා ලබන හේලීස් සමාගමේ රබර් නිෂ්පාදන කම්හලක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ රතුපස්වල ජනතාවට සහතික වූයේ ඉකුත් අගෝස්තුවේ.

එය ඉටු කරන මෙන් අඟහරුවාදා ඉල්ලා සිටි ජනතාව විපක්ෂය විසින් මෙහෙයවන බවට ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් කැරුණු චෝදනාව හෙලා දකිමින් උද්ඝෝෂකයන් තමන් ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බව කියා පෑ අයුරු ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න වාර්තා කළේය.

හේලීස් ව්‍යාපාර සමූහයේ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් අත් වැසුම් කම්හලින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් අගෝස්තු මුලදී උද්ඝෝෂණයේ යෙදුන ජනතාවට හමුදාව වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුන් දෙනෙක්.

වැලිවේරිය හමුදා ප්‍රහාරය දේශීය මෙන් ම විදේශීය මානව හිමිකම් සංවිධාන හා ආගමික ආයතන වල දැඩි විවේචනයට ලක් විය.