සියයකට වැඩි ධීවරයන් ආපසු සියරට

ඉන්දීය සහ ශ්‍රී ලාංකික සිරගෙවල රඳවා සිටි සියයකට අධික ධීවරයන් නිදහස ලබා තම රටවලට ළඟා වී ඇතැයි ශ්‍රී ලංකාවේ නාවික බලධාරීහු පවසති.

නාවික හමුදා ප්‍රකාශක කෝසල වර්ණකුලසුරිය ජනමාධ්‍ය අමතා කියා සිටියේ ශ්‍රී ලාංකික ධීවරයන් පනස් දෙදෙනකු කන්කසන්තුරයට ළඟා වූ බවයි.

ශ්‍රී ලංකාවෙන් නිදහස් කැරුණු ඉන්දීය ධීවරයන් පනස් එක් දෙනකු තමිල්නාඩුවට ගොඩ බැස ඇතැ’යි ද ඔහු ප්‍රකාශ කළේ ය.

සාගර සීමා උල්ලංඝනය කළ බවට චෝදනා නගා පෝක් සමුද්‍ර සන්ධිය දෙපස බන්ධනාගාරවල සිර ගත කොට සිටින ධීවරයන් සංඛ්‍යාව හාරසියයකට ආසන්නයි. ඉන් 236ක් ඉන්දීයයන්. 152ක් ශ්‍රී ලාංකිකයන්.

මේ ඉන්දු ලංකා ධීවර දෙපිරිස ඉදිරි කාලයේ දී අදියරින් අදියරට මුදා හැරෙනු ඇති බවයි දෙ රටේ බලධාරීන් පවසන්නේ.

දෙ රටේ ධීවර ගැටළු පිළිබඳව දිල්ලියේ පැවති ඉහළ පෙලේ සාකච්ඡා හමාරයේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී යට පැවසුවේ කිසිවකුටත් චෝදනා නැගෙනු නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර