Chrismal Warnasooriya
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නඩු නො පැවරූ පොලිසිය ට උසාවියෙන් දොස්

කිතුනු ආගමික ආයතනයකට පහර දී වසරකට වැඩි කාලයක් ගත වී තිබිය දීත් සැකකරුවන්ට එරෙහිව නඩු නො පැවරීම පිළිබඳ ව පොලිසියට දෝෂාරෝපණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ආකාරයට රාජකාරි පැහැර හරින පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව ප්‍රකාශ කරයි.

වීරකැටිය , ජීවනාලෝක කිතුනු දේව මධ්‍යස්ථානයකට පහර දීමට සම්බන්ධ සැකකරුවන්ට පොලිසිය නඩු නො පවරන බවට චෝදනා කරමින් එහි දේවගැති ප්‍රදීප් වසන්ත කුමාර ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අදහස් පළ කළේ.

පෙත්සම් කරු අධිකරණය හමුවේ කියා සිටියේ පසුගිය 2012 වසරේ දෙසැම්බර් 12 වැනි දා තම දේව මධ්‍යස්ථානය වෙත කඩා වැදී අලාභ හානි කළ ගම් වාසීන් සමග මෑතක දී සිය දිවි නසා ගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් ද සිටි බවයි.

නැවත පහර දීමක්

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමෙන් පසුව පසුගිය මාර්තු මස 5 වැනිදාත් ගම්වාසීන් නැවත තම දේව මධ්‍යස්ථානයට පහර දුන් බව ද ඔහු කියා සිටියේ ය.

වසරකට වැඩි කාලයක් ගත වී තිබිය දීත් මීට‍ සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර නැති පොලිසිය තමන්ට නිසි ආරක්ෂාව සැලසීමට ද අසමත් වි ඇති බවයි පෙත්සම් කරු කියා සිටියේ.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ රජයේ නීතිවේදියා සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා මාස තුනක කාලයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මේ ප්‍රහාරයෙන් ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය කඩවී තිබේ දැයි විභාග කිරීමට තීන්දු කළ අධිකරණය මීට‍ අදාළ ව ලබන අප්‍රේල් මස 3 වැනිදා කරුණු දක්වන මෙන් වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත ඇතුළු නිලධාරීන්ට නියම කළේ ය.