උතුරේ බලහත්කාරයෙන් මුස්ලිම් ගම්මාන හදනවා - ටීඑන්ඒ

  • 2014 ජනවාරි 21
Image caption අමාත්‍ය බදිඋද්දීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය

මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව නොසලකා හරිමින්, දෙමළ ජනතාවගේ ඉඩම් මුස්ලිම් ජනතාවට පවරා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බවට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට චෝදනා කරයි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථිරව පදිංචි මුස්ලිම් වැසියන්ට මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලියාවේලි ඇතුළු පළාත් කිහිපයකින් ඉඩම් අක්කර 1200 ක් ලබා දීම පිණිස මූලික ලියාපදිංචි කිරීමේ කටයුතු අද ආරම්භ කෙරිණ.

එයට විරෝධය පාමින් උතුරු පළාත් සභා මන්ත්‍රී ඇන්ටනි ජෙගනාදන් ගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම් හමු වී උතුරේ බලහත්කාරයෙන් මුස්ලිම් ගම්මාන පිහිටුවීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ.

'දන්නේ නෑ'

පළාතේ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා මුස්ලිම් ගම්මාන ඇති කිරීමට උත්සාහ කිරීම දැඩි අසාධාරණයක් බවයි, ඒ පිළිබඳව අදහස් දක්වමින් පළාත් සභා මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

සිය විරෝධය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුවත් කළ බවද ඇන්ටනි ජෙගනාදන් පළාත් සභා මන්ත්‍රීවරයා පැවසීය.

මේ චෝදනාව පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය බදිඋද්දීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

කෙසේ නමුත් මුස්ලිම් ජනතාවට පමණක් ඉඩම් ලබා දීමේ තත්වයක් ගැන නොදන්නා බව පැවසූ මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම්, පළාත් සභා මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂා කරන බවද සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර