ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුරාම් ඝාතනයේ සැකකරු දිගටම රිමාන්ඩ්

වරෙන්තු මත අත් අඩංගුවට ගනු ලැබූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව පසුගිය නම වැනිදා කැඳවූ අවස්ථාවේ විත්තිකාර සම්පත් විදානපතිරණ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එදින ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා කියා සිටියේ තම සේවා දායකයා හෘදයාබාධයක් හේතුවෙන් ගාල්ලේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව විත්තිකරු අත් අඩංගුවට ගන්න මෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

'ආබාධයක් නෑ'

ඉන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් පිරිසක් යොදවන ලද නමුත්, විත්තිකරු සොයා ගත නොහැකි බව පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේය.

Image copyright bbc
Image caption 2011 වසරේ නත්තල් දින තංගල්ලේ සංචාරක නිකේතනයකදී කුරාම් ෂයික් ඝාතනය කෙරිණ

අදාළ නඩුව බදාදා කැඳවූ අවස්ථාවේ විත්තිකර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය, ඔහු අඟහරුවාදා රාත්‍රී පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කියා සිටියේය.

රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිකරු පසුගිය අට වැනිදා රෝහල් ගත වී පසුදා එනම් නම වැනි දින රාත්‍රී 7.15 පමණ රෝහලින් නික්ම ගොස් ඇති බව සඳහන් කළේය.

රෝහලින් ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාව වෙනුවෙන් විත්තිකරු ප්‍රතිකාර ලබා ගෙන ඇති ඇති අතර ඔහුගේ පෙනහළු වල කිසිදු ආබාධයක් නොමැති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් බවත් රජයේ නීතිවේදියා කියා සිටියේය.

එයට ප්‍රතිචාර දක්වමින් සිය සේවාදායකයාට අධිකරණය මග හැරීමේ චේතනාවක් නොතිබූ බව විත්තියේ නීතිවේදියා කරුණු දැක්වූ අවස්ථාවේ නීතිවේදියා ඇමතූ විනිසුරු රෝහිනී වල්ගම, අධිකරණය හමුවේ වගකීමක් ඇතිව කරුණු දක්වන ලෙස දැනුම් දුන්නාය.

විත්තිකරු සද්භාවයෙන් කටයුතු කරන පුද්ගලයකු නම් රෝහලෙන් නිදහස් වූ විගස අධිකරණයට පැමිණිය යුතුව තිබූ බව සඳහන් කළ විනිසුරුවරිය එසේ නොකිරීමෙන් පෙනී යන්නේ ඔහු අධිකරණය මග හැරීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බවක් යැයිද සඳහන් කළාය.

2011 වසරේ නත්තල් දින තංගල්ලේ සංචාරක නිකේතනයකදී කුරාම් ෂයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළේ යැයි චෝදනා කරමින්, සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබේ.