ඉන්දීය ධීවරයන් 'දිගටම අත් අඩංගුවට ගන්නවා'

  • 22 ජනවාරි 2014
Image copyright SLNavy
Image caption ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුද මැද දී අත් අඩංගුවේ සිටි ධීවරයෝ හුවමාරු කර ගත්හ

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර නොකරන බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

ධීවර අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ඉන්දු-ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ පසුගිය සතියේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රගතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කරමින්.

"අපි සාකච්ඡා කරලා ආවට පස්සෙත් ඉන්දීය ධීවරයන් තවත් 500 ක් විතර නැවත පැමිණියා. ඊට පස්සේ මුල් දවස පහක් අත් අඩංගුවට ගත්ත. ඊට පස්සෙන්දා 25 ක් අත් අඩංගුවට ගත්තා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

ඉන්දීය ධීවරයන් එසේ අත් අඩංගුවට ගැනීම මගින් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුවට තිරසාර විසඳුමක් ලබා දීමේ ඉදිරි සාකච්ඡාවලට කිසිදු බලපෑමක් නැතැයි සඳහන් කරන අමාත්‍යවරයා, තමිල්නාඩුවේ ධීවර සංගම් සහ ශ්‍රී ලංකාවේ ධීවර සංගම් අතර පැවැත්වීමට යෝජිත සාකච්ඡා සැලසුම් කළ පරිදි ලබන විසි හත් වැනිදා පැවැත්වෙන බවද ප්‍රකාශ කරයි.

'සැලකුවේ නෑ'

මූලික සාකච්ඡාවල එකඟ වූ පරිදි අද වනවිට දෙපාර්ශවයම අත් අඩංගුවේ පසුවන සියලුම ධීවරයන් නිදහස් කරමින් පවතින බව පවසන අමාත්‍යවරයා, එහි යම් ප්‍රමාදයක් සිදු වූයේ නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාව පාර්ශවයෙන් බවද සඳහන් කළේය.

Image copyright fisheries.gov.lk
Image caption තමන්ට නිසි පරිදි නොසැලකූ බවට ධීවරයන් නගන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

"දැන් අවශ්‍ය අයට යාත්‍රා අරගෙනම පැමිණෙන්න කටයුතු සලස්සල තිබෙනවා," යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

අන් රටවල මුහුදු සීමාවලට ඇතුළු නොවන මෙන් ශ්‍රී ලාංකික ධීවරයන්ගෙන් ඉල්ලා සිටින අමාත්‍ය රාජිත සේනාරත්න, එලෙස නීති විරෝධී ලෙසින් වෙනත් රටවල මුහුදු සීමාවට ඇතුළු වන ශ්‍රී ලාංකික ධීවරයන් පිළිබඳව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලන බවද කියා සිටියේය.

ඉන්දීය බලධාරීන් තමන්ට නිසි පරිදි නොසැලකූ බවටත්, ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන් ගැන සොයා නොබැලූ බවටත් ඇතැම් ධීවරයන් එල්ල කරන චෝදනාව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.

"හිරගෙදර වෙනම කුස්සියක් හදල දුන්න අපේ කෑම කන්න. ඔය මාධ්‍යයට නොයෙකුත් දේවල් කියනවා උද්දීපනය කරන්න."

ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දීය මුහුද හරහා නොගොස් මාලදිවයින හරහා අරාබි මුහුදට ඇතුළු වීමට හැකි වන වැඩපිළිවෙලක් පිළිබඳව මේ දිනවා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපතිවරයා සමඟ තමන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර