ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප‍්‍රගීත් අතුරුදහන් වී සිව් වසරක්

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී සිව් වසරක් ගත වීම නිමිත්තෙන් ඔහු සොයා දෙන ලෙස ඉල්ලා මහරගම බෝධිය අසලදී සත්‍යග‍්‍රහයක් පැවැත්විණි.

මෙම සත්‍යග්‍රහයට ප‍්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා සහ දරු දෙදෙනාද සහභාගී විය.

එහිදී සංදේශයට අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බව ප්‍රගීත්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔවුන් කරනා විවිධ ප්‍රකාශ වලින් ඔප්පු වන බවයි.

රජයට චෝදනා

" ඒ අය අමතක කරවනවා, තමන්ගේ අතේ මේ රටේ පාලන බලය සහ වගකීම තමන් සතු බව, ඒ නිසා විවිධ පුද්ගලයන් යොදා ගෙන විවිධ ප්‍රකාශ කරමින් ඉන්නවා. පොලිසිය අද දක්වා කිසිම දෙයක් කරලත් නැහැ. කිසිම දෙයක් කරන්නෙත් නැහැ." සන්ධ්‍යා එක්නැලිගොඩ තව දුරටත් කියා සිටියාය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් රජයට එල්ල කෙරෙන චෝදනා රජයේ බලධාරීහු නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරති.

'ප්‍රගීත් විදේශයක'

ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබුණු අතර වර්තමාන අගවිනිසුරුවර මොහාන් පිරිස් ද, නීතිපතිවරයා ලෙස කටයුතු කල අවදියේ ප්‍රගීත් විදේශයක ජිවත් වන බවට තොරතුරු ඇතැයි ප්‍රකාශ කර තිබුණි.

සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කරන්නේ ප්‍රගීත් විදේශයක සිටින්නේ නම් ඔහු ගෙනැත් දීමේ වගකීම ද ඇත්තේ රජයට බවයි.

අතුරුදහන් වී සිටින තම සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කරන ලද පෙත්සමක් තවමත් හෝමාගම අධිකරණයේ විභාග වෙමින් පවතී.

පොලිස් පරීක්ෂණ

ප්‍රගීත් එක්නැලිගොඩ සොයා ගැනීම සඳහා සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ වල තත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ මෙතෙක් ඔහු ගැන සාර්ථක තොරතුරක් ලැබී නැති බවයි.

" එක්නැලිගොඩ මහතා යම් ඇමතුමක් ලැබුණු පසු පිටවූ බවට වාර්තා වුනා. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වුවා, විදේශ සබඳතා ඇති දුරකතන පහක් පිළිබඳව අපි හොයා ගත්තා, ඒ දුරකතනවලට අදාල සිම් කාඩ් පත් එක දිනක් විතරක් පාවිච්චි කර තිබෙන නිසා එම අංක වලට සම්බන්ධ වූ අනිකුත් අංක පිළිබඳව සොයා ගැනීමට නො හැකියි” පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේය.