නැගෙනහිර බඳවා ගැනීම්වලදී 'වාර්ගික වෙනස්කම්'

Image caption 'වාර්ගික පදනමින් බැලීම මානව හිමිකම් උල්ලංඝනයක්'

නැගෙනහිර පළාතේ පරිපාලන සේවා පත්වීම් ලබාදීමේදී දෙමළ අයදුම් කරුවන් සැලසුම් සහගතව නොසලකා හැර ඇතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

දිස්ත්‍රික් මට්ටමේ වාර්ගික අනුපාත පදනමෙන් කළමනාකාර සහායක සේවයට පත්වීම් ලබා දෙන බව පළාත් සභාව විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීමේ සඳහන් කොට තිබුණි.

කෙසේ නමුත් තරඟ විභාගයෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රමාණවත් ලකුණු ලබාගෙන සිටි දෙමළ ජාතිකයන් නොසලකා හැර ඇති බවයි, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර් තුරෙයිරත්නම් බීබීසී සංදේශයටකියා සිටියේ.

උදාහරණයක් ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුස්ලිම් සියයට හතලිහක්ද, දෙමළ සියයට තිස් එකක්ද, සිංහල සියයට විසි හතක්ද වශයෙන් වාර්ගික අනුපාතය බෙදී යන නමුත්, තරඟ විභාග ප්‍රතිඵල අනුව ඉහලින් ලකුණු ලබාගෙන සිටි දෙමළ ජාතිකයන් 273 න් එක් අයකු හෝ සම්මුඛ පරීක්ෂණයට කැඳවා නැති බවද ඔහු පවසයි.

දක්ෂතා පදනමින්

එහෙත් මුස්ලිම් අපේක්ෂකයන් 172 අතරින් 115 දෙනකුද, සිංහල අපේක්ෂකයන් 184 අතරින් 40 දෙනකුද තේරී පත් වී සිටී.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලද පවතින්නේ ඒ හා සමාන තත්වයක් බව ආර් තුරෙයිරත්නම් මන්ත්‍රීවරයා පැවසීය.

"වාර්ගික අනුපාත සමාන කිරීමට මෙවැනි දේ කරන බව ඇතැම් ඉහල නිලධාරීන් අපට කිවුව. ඒත් පසුගිය කාලයේ පත්වීම් දීල තියෙන්නේ වාර්ගික අනුපාත පදනමින් නමෙයි, දක්ෂතා පදනමින්," යනුවෙන්ද ඔහු පැවසීය.

"විභාගයේදී වැඩියෙන් ඉහල ලකුණු ලබාගෙන තිබෙන්නේ දෙමළ අපේක්ෂකයන්. දක්ෂතා පදනමින් තෝරාගත් අයව වාර්ගික පදනමින් බැලීම පිළිගත නොහැකි, මානව හිමිකම් උල්ලංඝනයක් විදියටයි දෙමළ ජාතික සන්ධානය සලකන්නේ."

ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද පළාත් සභා මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය.

අදාළ කරුණ පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවයි, මේ පිළිබඳව විමසූ විට නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය එම්අයිඑම් මන්සූර් සංදේශයට කියා සිටියේ.

තමන්ට අසාධාරණයක් වී ඇති බවට කිසිවෙකු පැමිණිලි කළ හොත්, එයට මැදිහත් වී සහනයක් ලබා දීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

"තුරෙයිරත්නම්ගේ යෝජනාව හරි නම් අපි ඔහුට සහාය දෙන්න සූදානම්. අසාධාරයක් වුනා නම් ලිඛිත ව පැමිණිලි ඉදිරිපත් කරන්න කියන්න. මම යුක්තිය ඉටු කර දෙන්නම්. ඒක ආණ්ඩු පක්ෂයේ අතෘප්තියට හේතු වුනත්, අපි යුක්තිය වෙනුවෙන් හඬ නගනවා," යනුවෙන් පළාත් ඇමතිවරයා සඳහන් කළේය.

නැගෙනහිර පළාත් සභා රැස්වීමේදී අදාළ ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත්, යුක්තිය ඉල්ලා අධිකරණයේ පිහිට පැතීම හැර වෙනත් මාර්ගයක් නැතැයිද ඔහු සඳහන් කළේය.