ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘දූපත් අයිති ධීවර ජනතාවට’-කතෝලික සභාව

30 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:01 GMT

කල්පිටිය බත්තලංගුණ්ඩුව උච්චමුනේ ඇතුළු දූපත්, ඒවායේ ජීවත් වෙන ධීවර ජනතාවට අයිති බවට, තිරසාර පොරොන්දුවක් දෙන ලෙස ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටි බව‍ හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ බත්තලංගුණ්ඩුව දූපතේදී ප්‍රකාශ කළහ.

ජනතා දුක සොයා බැලීම සඳහා රදගුරු මණ්ඩලය ජනවාරි විසිනව වෙනි දින බත්තලංගුණ්ඩුව හා උච්චමුනේ දුපත් වල සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලංකා කතෝලික ඉතිහාසයේ එවැනි සංචාරයක් සිදු කෙරුණ පළමු අවස්ථාව මෙයයි.

රදගුරු සංචාරයේ ප්‍රධාන අරමුණ කල්පිටිය සංචාරක කලාපයක් කිරීමත් සමග දූපත්වාසී ධීවර ජනතාවට මුහුණ දීම‍ට සිදුව ඇති ගැටළු පිළිබද සොයා බැලීම.

යටිතල පහසුකම්

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේදී ජනවාරි විසිඅට වෙනි දින රජයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් දූපත් වාසී ධීවර ජනතාවගේ ගැටළු පිළිබද සාකච්ඡාවක් පැවැත්වුන අතර එම ජනයාගේ දුක සැප සොයා බැලීමට රදගුරු මණ්ඩලය තීරණය කළේ එම සාකච්ඡාවේදී.

ඒ අනුව මහනුවර පදවියේ රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් පෙරටු කරගත් රදගුරු ප්‍රසාදීන් වහන්සේලා නව දෙනෙක් තවත් පියවරු කීපදෙනකු සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රා තුනකින් දූපත් කරා ලඟා වූහ.

ආගමික නායකයෝ දූපත් ජනතාවගේ ප්‍රධාන ගැටලු වන විදුලිය,ජලය,පාසල් යන මූලික යටිතල පහසුකම් හා ඉඩම් වල අයිතිය තහවුරු කර ගැනීම පිළිබඳව මෙන්ම ජනතාවගේ ආධ්‍යාත්මික ප්‍රශ්න ගැනත් විමසා බැලූහ.

මේ සංචාරයේදී හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ප්‍රකාශ කළේ, දූපත් වාසී ධීවර ජනතාවට පසුගිය කාලය තුළ බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදු වූ බව කතෝලික සභාව දන්නා බවයි.

භූමියේ අයිතිය

“මේ ගැටළු අතර ප්‍රධාන වන්නේ වසර ගණනාවක් ජිවත් වූ භූමියේ අයිතිය පිළිබද ගැටලුවයි. රජය සමග සිදු කළ සාකච්ඡාවේ දී ධීවර ජනතාවගේ කටයුතු සහ භූමියේ අයිතිය පිළිබඳ වෙනසක් සිදු නොවන බව ප්‍රකාශ වුනා. එහෙත් දැනට වසර දෙකකට පෙර මේ දූපත් සංචාරක මණ්ඩලයට පැවරීමක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා” රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් අදහස් දක්වමින් කියා සිටියේ, කිතුනු රදගුරු සංචාරය දීර්ඝ කාලයක සිට සැලසුම් කෙරුණ ගමනක් බවයි.

“ජනතාවගේ සියලු ම ප්‍රශ්න විසඳිය හැකි යයි අපට කියන්න බැහැ. නමුත් කතෝලික සභාව ජනතාවත් සමග බව අපි ජනතාවට පෙන්විය යුතුයි. එවිට අපට දීර්ඝ ගමනක් යාමට පුළුවනි” මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණෝ පැවසූහ.