බ්‍රිතාන්‍යයට පුද්ගලයන් පැටවූ පහක් දැලේ

  • 2014 ජනවාරි 30
Image copyright UK Home Office

ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයට හොරෙන් පැටවීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණ අපරාධ කල්ලියක සාමාජිකයන් පස් දෙනකුට සිර දඬුවම් නියම විය.

චූදිතයන් කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත් වෙති.

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි, අනවසර සංක්‍රමණිකයන් රට තුලට රහසේ ගෙන ඒමට එක් අයකුගෙන් ලබා ගෙන ඇති ගාස්තුව බ්‍රිතාන්‍ය පවුම් හාරදහස් පන්සියයක්. එය ශ්‍රී ලංකා රුපියල් දශ ලක්ෂයකට ආසන්නයි.

යුරෝපා මෙහෙයුමක්

වාහන වල සඟවා සංක්‍රමණිකයන් ගෙන ඒමට වෑයම් කළ අවස්ථා කීපයක් දේශ සීමා නිලධාරීන් විසින් වළක්වා ඇත්තේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ වරාය වල දීයි.

කල්ලි නායකයා ලෙස නම් කොට ඇත්තේ අනවසර සංක්‍රමණයට පහසුකම් සැලසීමේ වරද පිළිගෙන පස් වසරකට සිරගත කරනු ලැබූ තිස් හත් හැවිරිදි සුදර්ශන් ජයකොඩි.

දකුණු දිග එංගලන්තයේ මේඩ්ස්ටෝන් අධිකරණය විසින් බ්‍රහස්පතින්දා සිරගත කරනු ලැබූ අනික් සිව් දෙනා සුබ්‍රමනියම් විග්නරාජා, කමලනේසන් කන්දයියා, ජෝන් අනෙස් සෞන්දරනායගම් උවයිස්, සහ අමර්ජිත් මුධාර්.

ප්‍රධාන භූමිකාවක්

Image copyright UK Home Office
Image caption හීත්රෝ ගුවන් තොටුපලේදී අත් අඩංගුවට

මේ අතුරින් මුල් සිව් දෙනා ශ්‍රී ලාංකිකයන් වන අතර පස් වැන්නා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කියා සිටියේ හුදු මුදල් සෙවීමේ පරමාර්ථයෙන් ම මේ කණ්ඩායම අසරණ පුද්ගලයන් එරටට ගෙනා බවයි.

අමාත්‍යාංශයේ සංක්‍රමණික අපරාධ පරීක්ෂණ අංශයේ ඩේවිඩ් ෆෙයාර්ක්ලෆ් ඔවුන් හැඳින්වුයේ ‘ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයට ගෙන ඒමේ ප්‍රධාන භූමිකාවක් දැරුවන්’ ලෙසින්.

කණ්ඩායම අත් අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන්, ස්විට්සර්ලන්ත හා යුරෝ පොලිසි එක්ව කළ මෙහෙයුමකින් බවයි, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

අනවසරයෙන් බ්‍රිතාන්‍යයට ඇතුළු වූවන් සෙවීම දිගටම කර ගෙන යන බවත් අමාත්‍යාංශය පවසයි.