මෙල් ගුණසේකර ඝාතකයන් ගැන 'හෝඩුවාවක්'

Image copyright mel gunasekera

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකරගේ ඝාතකයන් පිළිබඳව කැමරා (CCTV) මාර්ගයෙන් හෝඩුවාවක් ලැබී තිබෙන බව පොලිසිය පවසයි.

තියුණු ආයුධයකින් ඇන ඇය මරා දමා තිබෙන බවද පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට කියා සිටියේය.

ෆිච් රේටින්ග් ලංකා ආයතනයේ සහකාර නියෝජ්‍ය සභාපතිනිය වූ, ව්‍යාපාරික කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනී මෙල් ගුණසේකරගේ මළ සිරුර කොළඹ පිහිටි ඇයගේ නිවසේදී ඥාතීන්ට හමු වී තිබේ.

'තර්ජන'

ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයේ සේවය කළ සමයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වාර්තා කළ ඇය, වඩාත්ම ප්‍රසිද්ධියට පත් වී සිටියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනියක් ලෙසින්.

ඇය ඝාතනය කිරීම සහ ඇයගේ මාධ්‍ය කලාව අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බලා මාධ්‍යවේදීන්ගේ සැක සහ බිය දුරු කිරීම පොලිසිය ඇතුළු නීතිය පසිඳලන බලධාරීන්ගේ වගකීම බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දිගින් දිගටම තර්ජනවලට මුහුණ දෙමින් සිටින සමයක සැකකරුවන් ඉක්මනින් අත් අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව එහි කැඳවුම්කරු සුනිල් ජයසේකර සංදේශයට පැවසීය.

සන්ඩේ ලීඩර් පුවත්පතට ව්‍යාපාරික කටයුතු වාර්තා කළ මන්දනා ඉස්මයිල් සහ ෆරාස් ශවුකතලි මීට ඉහතදී ප්‍රහාරවලට ලක් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර