ඉන්දියානු නිවාස බෙදීම ‘කඩාකප්පල් කිරීමේ වෑයමක්’

Image caption තමන්ට මෙතෙක් ස්ථිර නිවාස නොලැබුණු බව මුස්ලිම් වැසියෝ පවසති

යුද්ධයෙන් පීඩා විඳි උතුරේ වැසියන්ට ඉන්දීය නිවාස බෙදා දීම කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවට වවුනියාවේ ආණ්ඩු හිතවාදී කණ්ඩායම් දෙමළ ජාතික සන්ධානයට චෝදනා කරති.

උතුරේ වැසියන්ට නිවාස පණස් දහසක් ඉදි කර දීමේ වැඩ පිළිවෙලක් යුද ගැටුම් නිමාවීමෙන් අනතුරුව ඉන්දීය රජය ප්‍රකාශයට පත් කළේය.

වසර හතර හමාරකට වැඩි කලක් ගත වීත් දුන් පොරොන්දු ඉටු වී නැති බව පෙන්වා දෙමින් පසුගිය සතියේ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරතව සිටියහ.

එම නිවාස බෙදා දීමේදී මුස්ලිම් ජාතිකයන්ට වැඩි වාසි සලසන බවට පළාතේ පාලනය හොබවන දෙමළ ජාතික සන්ධානය කරන චෝදනාවට විරෝධය පාමින් වවුනියාවේ උද්ඝෝෂණයක් දියත්ව තිබිණ.

තමන්ද යුද්ධයෙන් පීඩාවට පත් වූ නමුත් මෙතෙක් ස්ථිර නිවාස නොලැබුණු බව උද්ඝෝෂණයට එක්ව සිටි මුස්ලිම් වැසියෝ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක, කිසිම ජාතියකට හෝ පුද්ගලයකුට අසාධාරණයක් සිදු නොවන අන්දමින් එම නිවාස බෙදා දීමට ආණ්ඩුව කටයුතු කරන බව කියා සිටියේය.

මුස්ලිම් ජනතාවට පමණක් නිවාස බෙදා දීමට කටයුතු කරන බවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවට එල්ල වන චෝදනා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර