තායිලන්තයේ පශ්චාත් මැතිවරණ විරෝධතා

  • 3 පෙබරවාරි 2014

ඊයේ ඉරිදා ව්‍යාකූල තත්වයකට පත් තායිලන්ත මහ මැතිවරණයෙන් අනතුරුව විපක්ෂයේ උද්ඝෝෂකයෝ අද සඳුදාත් ආණ්ඩු විරෝධී ව්‍යාපාර පෙරට ගෙන යමින් සිටියහ.

ආණ්ඩුව පෙරලා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී කණ්ඩායම් විසින් ඊයේ ඉරිදා ඡන්ද මධ්‍යස්ථාන වට කරනු ලැබීම නිසා දසලක්ෂ සංඛ්‍යාත ජනකායකට ඡන්දය දීමේ අවස්ථාව අහිමි විය.

ඡන්දය විමසීමට නොහැකි වූ එවැනි පලාත්වල යළි මැතිවරණ කැඳවීම සඳහා තවත් සති කීපයක්ම ගත විය හැකි බවයි ,තායිලන්ත මැතිවරණ නිලධාරීන් පවසන්නේ.

ප්‍රතිඵල අවලංගු කරන්න

මහමැතිවරණය වර්ජනය කල ප්‍රධාන විපක්ෂය වන තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා සිටින්නේ, අධිකරණය විසින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි.

රට තුළ ව්‍යාකූල සහ අවිනිශ්චිත තත්වයක් පවතින බවයි, බැංකොක් අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ අතර බීබීසී යට ප්‍රකාශයක් කරන තායිලන්ත අගමැතිනි, යින්ග්ලුක් සිනවත් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයත් සමඟ දිගටම රැඳී සිටීමේ උවමනාව මහජනතාව විසින් ප්‍රදර්ශනය කරන ලද බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර