ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජිනීවා යෝජනාව 'සාමයට එරෙහිවූවන් ගේ ජයක්'

  • 2014 පෙබරවාරි 4

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ආණ්ඩුවේ හමුදා දියත් කළ යුද්ධයේදී ලබා ගත් ජයග්‍රහණ අවතක්සේරු කිරීමට ජාත්‍යන්තර බලවේග උත්සාහයක යෙදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

කෑගල්ලේ පැවැත්වුණු හැට හය වෙනි නිදහස් දින උත්සවය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවට එම චෝදනාව එල්ල කළ ජනාධිපතිවරයා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත යුද අපරාධ සම්බන්ධ යෝජනාව විග්‍රහ කළේ 'සාමය අකමැති අයගේ ජයග්‍රහණයක්' ලෙසින්.

Image copyright president.gov.lk

එල්ටීටීඊය උතුරේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරද්දී ඔවුන් ආරක්ෂා කිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවද ඔහු පැවසීය.

'ජනතා පලිහක්'

"හිටපු විපක්ෂනායක අමිර්තලිංගම් මරණ කොට, සෑම් තම්බිමුත්තු, ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා විතරක් නෙවෙයි ඉන්දියාවේ රජීව් ගාන්ධි මරණ කොටත් කවුරුවත් මානව හිමිකම් කථා කළේ නෑ," යනුවෙන්ද ජනාධිපති රාජපක්ෂ සඳහන් කළේය.

අද උතුරේ ජනතාව නිදහස භුක්ති විඳින බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

"නමුත් අද නිදහස භුක්ති විඳින උතුරේ ජනතාව පලිහක් කර ගන්න විදේශ බලවේග උත්සාහ කරන බව අපි තේරුම් ගන්න ඕන," බවද ඔහු පැවසීය.

'ආක්‍රමණිකයන්' නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය වැනි කරුණු පෙරදැරි කර ගෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කිසිදු රටක් විශේෂයෙන් නම් නොකළ ජනාධිපතිවරයා, වර්තමානයේ ශ්‍රී ලංකාවේ සටන් කිරීමට සිදු වී තිබෙන්නේ ජාතීන් සහ පක්ෂ වශයෙන් නොව රටට හිතවත් සහ ද්‍රෝහීන් අතර අරගලයක් බවද සඳහන් කළේය.