'හමුදාව සමුහ මිනී වල කිහිපයක් විනාශ කරලා'

Image copyright AFP
Image caption ශෙල් ප්‍රහාරයකට ලක් වූ ස්ථානයක්

දහස් ගණන් සිරුරු වල දමා තිබූ බවට සැක කැරෙන සමුහ මිනී වල කිහිපයක් විනාශ කොට ඇතැයි ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ දී ජාත්‍යන්තර නීති කඩවීම් පිළිබඳ විමසමින් නිකුත් කරන ලද වාර්තාවකින් රජයේ සන්නද්ධ සේනා වලට දොස් පවරා තිබේ.

ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිළිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය පිටු දෙසිය තිස් පහක ලියවිල්ලක දැක්වෙන පරිදි රජයේ ආරක්ෂක සේනාවේ මෙන්ම එල්ටීටීඊ යේත් සාමාජිකයන් ජාත්‍යන්තර මානවීය නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කළ බවට සාක්ෂි ලැබී තිබේ.

වාර්තාවේ කතුවරයකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකාවේ ප්‍රකාශක ගෝඩන් වයිස් බීබීසී යට කියා සිටියේ මේ සාක්ෂි යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක දී යොදා ගැනීමට ගැළපෙන සේ සකස් කොට අති බවයි

දඬුවම්

ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ දෙමළ කොටි සංවිධානය අතර පැවති යුද්ධයේදී සිදු කර ඇති බවට එල්ල වී ඇති ඇතැම් යුද අපරාධ චෝදනා නඩු විභාගයක දී ඔප්පු වුවහොත් ආණ්ඩුවේ බලධාරීන්ට, රජයේ හමුදාවේ අණදෙන නිලධාරීන්ට මෙන්ම ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ සාමාජිකයන්ටද දඬුවම් හිමි වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

මිනිස් ඝාතන, වද හිංසා සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් රජයේ හමුදා මෙන්ම දෙමළ කොටි කැරලිකරුවන් ද සිදු කර ඇති බවයි ඔස්ට්‍රේලියානු පරීක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ.

නමුත් යුද්ධයේ අවසාන මාස හය තුළ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ වලින් අති බහුතරය රජයේ හමුදා විසින් සිදු කරනු ලැබ ඇති බවයි ඉහත කී පරීක්ෂණයේ නිගමනය වී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව සමූහ මිනී වලවල් විනාශ කර දැමූ බවට ඇසින් දුටු අලුත් සාක්ෂියක් ද ලැබී ඇති බව මෙම වාර්තාව සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර