පාර්ලිමේන්තුව බලු වෙලා ඉවරයි - රාජිත

Image caption 'මිනිස්සු දැනගන්න ඕනේ අපි මොනවාද කරන්න කියලා'

පාර්ලිමේන්තුවේ වාද විවාද රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙසින් විකාශනය කිරීම නවතා දැමීම වැරදි බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශනය කිරීමට තමන්ගේ සම්පූර්ණ සහාය හිමි වන බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න හරි හෝ වැරදි පාර්ලිමේන්තුවේ සිදුවන දේ දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

"මිනිස්සු දැනගන්න ඕනේ අපි මොනවාද කරන්න කියලා. ඒකෙන් හරි සුචරිතයක් ඇතිවේවි කියල මම හිතුව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ අග භාගයේ හඳුන්වා දුන් පාර්ලිමේන්තුවේ සජීවී විකාශය මේ වසර මුල සිට ආණ්ඩුව හදිසියේම නවත්වා දැමුවේ කිසිදු හේතුවක් නොදක්වමින්.

දූෂණ වංචා

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ගේ දූෂණ සහ වංචා හෙළි කිරීම සජීවී විකාශනය නවතා දැමීමට හේතුව බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක චෝදනා කරයි.

Image copyright fisheries.gov.lk
Image caption 'අරූගේ පුතා, අරූගේ දූ, මුගේ බෑනා කියල යන සුප් එකට මගේ එකත් වැටෙනවා'

ආණ්ඩුවේ දූෂිත අමාත්‍යවරුන් බිය වී එය නවතා දැමීමට කටයුතු කළේදැයි සංදේශය විමසූ විට අමාත්‍යවරයා සිනහමුසු මුහුණෙන් පිළිතුරු දුන්නේ: "අනේ මන්ද මොකටද කියල," යනුවෙන්.

ශ්‍රී ලංකාවේ දේශපාලනය විශාල ලෙස පිරිහී ඇති අතර, පාර්ලිමේන්තුව බලු වී ඇති බවද අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය.

"එක ඇමතිවරයෙක් කිව්වම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව බලු වෙනවා කියලා, මම කිව්වා ඒක බලු වෙලා ඉවරයි කියලා."

නළු නිලියෝ

නළු නිලියන් දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, දේශපාලනය පිළිබඳව අවබෝධයක් තිබෙන ඕනෑම අයෙකු මැතිවරණයට ඉදිරිපත් වීමේ වරදක් නොමැති බවයි.

"ඕන කෙනෙක් එන්න දේශපාලන අවබෝධයක් එක්ක. නැතුව බිස්නස් කරන්නයි, පවුලේ නම ගෙනියන්නයි නෙවෙයි."

වර්තමනයේ දේශපලානය පිරිහී ඇති නිසා තම පුත්‍රයා මෙවර පළාත සභා මැතිවරණයට ඉදිරිපත් නොකළ බවද අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

"අරූගේ පුතා, මුගේ පුතා, අරූගේ දූ, මුගේ බෑනා කියල යන සුප් එකට මගේ එකත් වැටෙනවා. ඒ නිසා මම කිව්වා එපයි කියල."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර