ධීවර නිදහසට ඇමති පීරිස් 'මැදිහත් වුනේ නෑ'

5 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:20 GMT

ඉන්දියාවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මැදිහත් වූ බව පසුගිය මාසයේ ධීවරයන් නිදහස් කෙරුණු අවස්ථාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.

Image copyright SLNavy
Image caption 'ධීවරයන් නිදහස් කරන්න ඉන්දියාව ඉල්ලුවම බොහොම උනන්දු වුනා, මමයි ඒක නැවැත්තුවේ'

එම නිවේදනය පිළිබඳව අප්‍රසාදය පළ කළ ධීවර අමාත්‍යවරයා, ධීවරයන් සම්බන්ධයෙන් පැන නගින ගැටළුවලට විසඳුම් සොයා ගැනීමට තමන්ට හැකියාව තිබෙන බව කියා සිටියේය.

ඉන්දියාවේ චෙන්නායි නුවරදී පසුගිය සතියේ පැවැත්වුණු ඉන්දු-ලංකා ධීවර සංගම් ස්සකච්ච්හාවල ප්‍රගතිය දැනුම් දීමේ මාධ්‍ය හමුවකදීයි, ඇමතිවරයා ඒ බව කියා සිටියේ.

"ජීඑල් පීරිස් මහත්තයට තියෙනවනේ මීට වඩා ලොකු ඒවා බේර ගන්න. ධීවරයෝ ටික මම බලාගන්නම්, මේ රට බේර ගන්න කියන්නකෝ මාර්තු 28 ජිනීවාවල," යනුවෙන් ඔහු කියා සිටියේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පිළිබඳව අවධානය පළ කරමින්.

"ඒක බලන කොට මේක මොන කජ්ජක්ද? ධීවරයෝ නෙමෙයි රටයි බෙර ගන්න ඕනේ. ඒකට මහන්සි වෙන්න මම මේ පැත්ත බලා ගන්නම්."

'බොරු ප්‍රකාශ'

ජනාධිපතිවරයා උපදෙස් දුන් බවට 'බොරු ප්‍රකාශ කරමින්' ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට උත්සුක වුවත්, ඉන්දියාවේ අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන් පිළිබඳව විදේශ අමාත්‍යාංශය කිසිදු උනන්දුවක් නොදක්වූ බවද අමාත්‍ය සේනාරත්න පැවසීය.

Image copyright Photo by Azzam Ameen
Image caption 'මට කිව්වා ජනාධිපතිතුමා කිවුව කියල. ජනාධිපතිතුමා කිව්වා එහෙම කිව්වේ නැහැ කියලා'

"අඩු ගානේ ටෙලිෆෝන් කෝල් එකක් වත් දුන්නේ නැහැ ඉන්දියාව අත් අඩංගුවට ගත්ත අපේ ධීවරයන් ගැන අහලා. නමුත් ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න කියල ඉන්දියාව ඉල්ලුවම බොහොම උනන්දු වුනා, මමයි ඒක නැවැත්තුවේ," යනුවෙන්ද ඔහු පැවසීය.

"මට කිව්වා ජනාධිපතිතුමා කිවුව කියල. මම ඇහුව ජනාධිපතිතුමා ගෙන් එතුමා කිව්වා එහෙම කිව්වේ නැහැ කියලා."

පසුගිය සතියේ පැවති ඉන්දු-ලංකා ධීවර සංගම් සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට වාසි සහගත තීරණ රැසක් ගැනීමට හැකිවූ බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන්ගේ ආම්පන්න වැරදි බව හා ශ්‍රී ලංකාවේ මුහුදු සිමාවේ ධීවර කර්මාන්තයේ යෙදීම වැරදි බව තමිනාඩු ධීවරයන් මෙහිදී ප්‍රථම වරට පිළිගත් බවද කියා සිටියේය.

සාකච්ඡා සාර්ථක නම් තවමත් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙමින් සිටින්නේ මන්ද යන්න සංදේශය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයක්.

"එහෙම නවතින්නේ නැහැනේ. අපේ කවුරුවත් අත් අඩංගුවට ගත්තේ නැහැ, ඒගොල්ලෝ අත් අඩංගුවට අර ගෙන තියෙනවා, දැන් ඉස්සරට වඩා එනවා අඩුයි."

තමිල්නාඩු ප්‍රාන්තය සමඟ පැවති සාකච්ඡාවට උතුරු පළාත පරිපාලනයේ බලධාරීන් සම්බන්ධ කර නොගත්තේ මන්ද යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්ණයක්.

"ඒගොල්ලන්ගේ ස්ථාවරයක් නැහැනේ? ආරාධනා කරන්න කලින් ඒගොල්ලන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න ඕනනේ."

ශ්‍රී ලංකානු හා තමිල්නාඩු ධීවර සංගම්වල මීලග සාකච්චාව මෙම මස අගදී කොළඹදී පැවැත්විමට නියමිතය්