ත්‍රිකුණාමලයේ ක්‍රීඩා පිටියකින් ඇට කටු

  • 2014 පෙබරවාරි 13

ප්‍රතිසංස්කරණය කරද්දී අස්ථි කොටස් පොළොවෙන් මතු වූ ත්‍රිකුණාමලයේ ක්‍රීඩාංගණයකට පොලිසිය දැඩි රැකවල් යොදා ඇත.

මැකයිසර් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වල නිරතවූවන් පොලිසියට දැනුම් දී ඇත්තේ යන්ත්‍රානුසාරයෙන් භුමිය කණින විට බදාදා මිනිස් හිස් කබල් තුනක් මතු වූ බවයි.

ළිඳක් සෑරීම සඳහා පොළොව කනිද්දී අඩි පහක් පමණ ගැඹුරේ ස්ථාන නවයකින් අස්ථි කොටස් හමු වී තිබෙන බවයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ බීබීසී යට ප්‍රකාශ කළේ.

හඳුනා ගෙන නෑ

මිනිසුන් ගේ දැයි සතුන් ගේ දැයි හඳුනා ගෙන නැති මේ ඇට කැබලි හමුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිසිය ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි පොලිස් ප්‍රකාශකයා පැවසුවේ.

මාධ්‍යවේදීන් ක්‍රීඩාංගණයට ඇතුල්වීම වළක්වා පොලිසිය විසින් මුරකාවල් යොදා තිබෙන බව දිවයින මාධ්‍යවේදී සමන් මල්ලවාරච්චි බීබීසී සංදේශයට පැවසුවේය.

ත්‍රිකුණාමල නියෝජ්‍ය පොලිස් අධිකාරි කපිල ජයසේකර මාධ්‍යවේදීන්ට කියා සිටියේ අධිකරණ පරීක්ෂණ පැවැත්වෙන තුරු කිසිවකුටත් ක්‍රීඩාංගණයට යාමේ අවසර දිය නො හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර